RSS

Monthly Archives: December 2012

තොප්පිකාරයාගේ සටහනට ආරාධනා


තොප්පිය කියන්නෙ එක අතකට මනුස්සයාට නැතුවම බැරි වස්තුවක්. අවුවෙන් වැස්සෙන් බේරෙන්න ගල් යුගයේදි ගස්වල කොළ පොතු ඉහට තියලා තදකරගත්තු මිනිහා පස්සෙ ඒකට සෞන්දර්යාත්මක අලංකාරයකුත් එකතු කළා. අද තියෙන විදියට තොප්පිය කියන එක අවුවෙන් වැස්සෙන් බේරෙන්න තියෙන ආම්පන්නයක් බව අමතක වෙන තරමට ඒකට නොයෙක් විච්චූර්ණ විලාසිතා එකතුවෙලා.

තොප්පිය විකාශනය වුණ හැටි හොයා බලන එකත් එක්තරා විදියක රසවත් කටයුත්තක්. මුලින්ම තොප්පියක් ගැන සාක්ෂි හමුවෙන්නේ තීබසයේ සොහොනක චිත‍්‍රයකින්. රෝමයේ සහ ග‍්‍රීසියේත් නිදහස් කළ වහලුන්ට නිදහසේ සංකේතයක් විදියට පිරිනමලා තියෙන්නෙත් තොප්පියක්. ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙදිත් පිට පිට කඩුලු 3ක් දවාගත්තාම තෑග්ගට දුන්නෙත් තොපපියක්. ඒ නිසා දැන් තොප්පියක් තෑගි නොදුන්නත් අපි තාමත් ඒකට හැටි‍්‍රක් කියනවා. 16 වැනි සියවස අගභාගයේදි කාන්තාවනුත් ඇදුම් ආයිත්තම් වල කොටසක් විදියට තොප්පි පළදින්න පටන්ගෙන තියෙනවා. 18 වැනි සියවස වෙනකොට ඉතා උසස් තත්වයේ මිළ අධික තොප්පි නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් දියුණුවට පත්වෙලා තියෙනවා.

ඒ කිව්වෙ සුද්දන්ගෙ තොප්පි ගැන. ඇයි අපි තොප්පි දාලදාලම නැද්ද. අපිත් දාලා තියෙනවා. අපේ රජවරු හිසේ පැළදපු ඔටුන්න එක්තරා විදියක තොප්පියක්. මං පුංචිකාලේ මගේ කිරි අත්තා උදේට වත්තේ ඇවිදින්න යනකොට සාලුවකින් ලොකු ජටාවක් බැන්දා. ඒකත් තොප්පියක්. උඩරට නිළමේ ඇදුම ඇදලාත් තොප්පියක් පළදිනවා. ඉතිං තොප්පිය අපිටත් අමුතු නෑ. සුද්දන් තොප්පි තියා නූල් පොටක්වත් නැතුව හිටපු කාලෙත් අපි තොප්පි දාගෙන ඉදලා තියෙනවා.

මුලින්ම තොප්පිය පාවිච්චියට ආවෙ අව්වට වැස්සට ආවරණයක් විදියටනෙ. ඉතිං අවශ්‍යතාවය මත වැඩිපුර තොප්පි දැම්මෙ එළිමහනෙ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අය, ක‍්‍රීඩකයො වගේ කට්ටිය. ඒත් පස්සෙ පස්සෙ විලාසිතාවක් බවට පත්වීමත් එක්ක තොප්පිය කියන්නෙ ගේ ඇතුලටත් පලදින ආභරණයක් බවට පත්වුණා. ඒබ‍්‍රහම් ලින්කන්ගෙ උස තොප්පිය, ෂර්ලොක් හෝම්ස්ගෙ ඉබ්බෙක් වගේ තොප්පිය, වින්ස්ටන් චර්චිල්ගෙ තැලිච්ච තොප්පිය විතරක් නෙවෙයි ජවහල්ලාර් නේරුගෙ තොප්පියත් ඒ අයගෙ ඇදුමෙ අනන්‍යතාවයෙ ලක්ෂණයක් වුණා.

ඇමරිකාව, එංගලන්තය කියන්නෙ සීත රටවල්. සමහර කාල වලට අව්ව ඇත්තෙම නෑ. ඒත් ලංකාව සමකාසන්න රටක් විදියට තුන්සිය හැටපස් දවස පුරාම මදි නොකියන්න අවුව ලැබෙනවා. ඒත් සීත රටවල මිනිස්සු තොප්පි දාන තරම් අපි තොප්පි දාන්නෙ නෑ. හැබෑට ඒ මොකද. මග තොටට බැහැලා බලන්න. කීයෙන් කී දෙනෙක් ගිනි කාස්ටක අව්වෙ තමන්ගෙ අත් ඔලුවට උඩින් අල්ලගෙන දාඩිය පෙර පෙරා යනවා එනවද. ඒත් වැඩි දෙනෙක් තොප්පිය තමන්ගෙ ඇදුමෙ කොටසක් කරගන්න හිතුවෙ නෑ. ඒකට හේතුව හොයන්න උත්සාහ කලත් වැඩක් වුණේ් නෑ. මගෙ කටකාර යාලුවෙක් කිව්ව විදියට තොප්පිය දාගෙන ගියාම මෝඩ පාටලු. ගිනි කාස්ටකෙන් මොලේ රත් වෙනකොට එයාගෙ බැටරි චාජ වෙනවා ඇති සමහරවිට. තව කෙනෙක් කිව්වා තොප්පියක් දාගෙන පාරෙ යනකොට නළුවෙක් හරි ගායකයෙක් හරි කියලා මිනිස්සු හැරි හැරී බලනවලු. ඒක එයාට අපහසුවක්ලු.

තව මෙකී නොකී අපූරු උත්තර ගොඩක් ලැබුණා. කොහොම වුණත් අන්තිමට වුණේ ලංකාවෙ මිනිස්සු තොප්පි නොදාන්න හේතුව හෙවිල්ල පැත්තකට දාලා මං තොප්පි දාන්න ගත්තු එක. ප‍්‍රතිඵල ඇස් පනාපිට පේන්න වුණා. ගෙන්දගම් පොළවෙ ගතකරපු අවුරුදු 6ක කාලයේ වැඩි හරියක් මාත් එක්ක හිටපු ඔලුව කැක්කුම සතියෙන් මාව දාලා ගියා. නළල අයිනෙන් හීනි වේගෙන ආපු කොණ්ඩෙ ආයෙත් තට්ටෙ වහගෙන නැගිටින්න පටන්ගත්තා. ගමනක් ගිහින් ආපුවාම දැනෙන මහා මහන්සියෙන් බාගයක් අඩුවෙන් මට දැනෙන්න ගත්තා. තොප්පියෙ රග.

සරසවි ශිෂ්‍යයෙක් කාලෙ තිබුණ විසේකාර අදහස් ‘විසම්මුතික විද්‍යාර්ථියෙකුගේ සටහනෙන්’ මම ඔයාලත් එක්ක බෙදාගත්ත. ඒ සමහර අදහස් සැර වැඩි බවත් උපේක්ෂාවෙන් ජීවිතේ දකින්න නොමේරූ කොල්ලෙක් විදියට මට එදා තිබුණ නොහැකියාව ඒවායෙන් පෙනෙන බවත් මට දැන් ටික ටික තේරෙනවා. ඉතිං ආයිත් ඉස්පාසුවක් ලැබුණ වෙලාවෙ බ්ලොග්කරණය පරණ අඩවියෙන් අරඹන එක හරි මදි කියලා මට හිතුණා. ඉතින් මෙන්න ඒ වෙනුවට ‘තොප්පිකාරයාගේ සටහන’.

තොප්පි කාරයා කියන්නෙත් එක්තරා විදියක විසම්මුතිකයෙක් තමයි. රුපියල් එකසිය අසූවක් දීලා තොප්පියක් අරන් අව්වෙ පින්නෙ පීඩාවෙන් බේරෙන්න හොදටම පුළුවන්කම තියෙද්දි ගොඩක් අය පීඩාව ඉවසගෙන පාඩුවෙ යනවා. ඒත් තොප්පිකාරයා ඉතා පහසුවෙන් තමන්ගෙ පීඩාව හදුනගෙන ඊට සුදුසු විසදුමක් යොදාගෙන තියෙනවා. මේ සමාජයෙ ගොඩක් ප‍්‍රශ්න වලට විසදුම දැක දැක අතින් වහගෙන යන්න අපේ අය පුරුදු වෙලා තියෙනවා. ඉතිං එහෙම අයට තොප්පියක් මිළට ගන්න වැය වෙන්නෙ රුපියල් එකසිය අසූවක් විතරක් බව මතක් කරලා දෙන්නයි තොප්පිකාරයාගෙ මේ වෑයම.

ඕං එහෙනං නමෝ විත්තියෙං…………………………………….
http://thoppikaraya.wordpress.com/

 
Leave a comment

Posted by on December 9, 2012 in Uncategorized