RSS

Monthly Archives: February 2012

රාවයේ පටිසෝතගාමයේ මළගම


පුරා දශක දෙක හමාරක් තිස්සේ ශ‍්‍රී ලාංකීය මාධ්‍ය පරිචය තුල ‘රාවය’ සනිටුහන් කර ඇත්තේ නොමැකෙන, අනුපමේය සලකුණක් බවට කිසිදු විවාදයක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පටිසෝතගාමය හෙවත් උඩුගම් බලා පිහිනීම තම මාධ්‍ය භාවිතාව කොටගෙන ලක්දෙරණේ දේශපාලන සන්දර්භය තුල ‘රාවය’ තීරණාත්මක භූමිකාවක් ඉටු කර ඇත. 1994 පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්කිරීමෙහි පටන් මේ වන තෙක්ම දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයන්හිදී රාවයේ මතය කුමක්ද යන්න පිළිබදව සබුද්ධික දේශපාලනයේ නිරත වන්නන් නිරන්තරයෙන් විමසා බැලීම සිරිතකි. රායට කර්තෘ වික්ටර් අයිවන්ගේ භූමිකාව විවිධ අවස්ථා වලදී විවිධ වෙස් ගනු ලැබුවද, ඔහු ප‍්‍රසිද්ධියේ ඇනගන්නා විට ඔහුගේ පාඨක ප‍්‍රජාවද ඇනගත්තද මේ දක්වා රාවයේ මාධ්‍ය භාවිතාව තුලින් ජනසමාජයේ ඇතිවූ බුද්ධිමය පෙරළිය එ් නිසා ලඝු වන්නේද නැත.
මට මතක ඇති කාලයේ වික්ටර් අයිවන් මුලින්ම ඇනගත්තේ 1994 වසරේදීය. දාහත් වසරක භීෂණකාරී එ.ජා.ප පාලන සමය අවසාන කිරීමෙහිලා ශ‍්‍රී ලාංකීය අතිමහත් බහුතරයකට මෙන්ම වික්ටර් අයිවන්ටද පෙනුණ හොදම විසදුම වූයේ චන්ද්‍රිකාය. එය ඔහු අවංක චේතනාවෙන් කලාද නැද්ද යන්න තවමත් අභිරහසකි. කෙසේ වුවද චන්ද්‍රිකා බලයට පත්වන තුරුද ඉන්පසු සැලකිය යුතු කාලයක්ද ඇයව නොසෑහෙන්නට කරේ තබාගෙන යාමට වික්ටර් පසුබට නොවීය. යම් පුද්ගලයෙකු දේශපාලන මතවාදයක් දැරීම හෝ එය කරේ තබාගෙන යාම බැරිනම් එය හා සයනය කලද කාටවත් ප‍්‍රශ්නයක් නැත. නමුත් වික්ටර් අයිවන් යනු එසේ ලඝු කොට සැළකිය හැකි පුද්ගලයෙක් නොවේ. ඔහු යම් මතවාදයක් කර තබාගෙන දේවාල ගානේ යනවිට ඒහා සමග පසුපසින් ගමන් ගන්නා සැළකිය යුතු පාඨක පිරිසක්ද ඇත. මාධ්‍යකරුවකු, විශේෂයෙන්ම වික්ටර් වැනි එක් අතකින් සම්මානනීය මාධ්‍යකරුවකු කඬේ ඕපාදුප කියන බණ්ඩයියාගෙන් වෙනස් වන්නේ එබැවිනි. ඉදින් එවන් පුද්ගලයෙකුට පැවරෙන්නාවූ සමාජ වගකීම ඔවුන් අවබෝධ කර නොගතහොත් එයින් සිදුවිය හැකි සමාජ හානිය අපමණය.
චන්ද්‍රිකා කර තබාගෙන ගිය වික්ටර් හිටි හැටියේ චන්ද්‍රිකා බිමටම අතෑරියේ ඔහු පසු පස්සේ වැදගෙන ගිය පාඨක පිරිසද සළිත කරමිනි. ඉන්පසු ඔහුගේ මාධ්‍ය භාවිතාව පුදුමාකාර ලෙස චන්ද්‍රිකා විරෝධී එකක් වූ අතර චෞර රැුජිනත් සමග වික්ටර්ගේ චන්ද්‍රිකා විරෝධය කූටප‍්‍රාප්ත විය. ඉන්පසු ඔහු කරතබාගත්තේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂයි. කෙසේ වෙතත් වික්ටර් මහින්දව කර තබාගත්තේ චන්ද්‍රිකා ශෛලියට නොවේ. ඔහු මදක් මහින්ද විවේචනයෙහිද යෙදී තීරණාත්මක අවස්ථාවන්හිදී මහින්ද රාජපක්ෂට සහයෝගය දිය යුතු බව කීවේය. කෙසේ වුවද රාවයේ අනෙකුත් ලේඛකයන්ගේ පෑන නිරන්තරයෙන් අයුක්තිය අසාධාරණයට එරෙහිව හඩ නැගූ බැවින් රාවයේ විසම්මුතිය ආරක්ෂා විය.
ජනපති අපේක්ෂක සරත් ෆොන්සේකා සිර භාරයට ගැනීමත් සමග ඇතිවූ මහා දේශපාලන ආන්දෝලනයේදී වික්ටර්ගේ භූමිකාව උත්ප‍්‍රාසජනක වේ. රටේ මෙතරම් දේශපාලනික වියවුලක් පවත්නා අවස්ථාවක වික්ටර්ට රටේ ප‍්‍රශ්න ලෙස පෙනුණේ ප‍්‍රධාන ප‍්‍රශ්නයෙන් පැන නගින්නාවූ ආනුශංගික කාරණා පමණි. රාවයේ පිටු ගණන් නාස්ති කරමින් ඔහු ගෘහ සේවිකාවන් ගැන, වන අලි ගැන අනේක ප‍්‍රලාප දොඩන්නට විය. සනත් බාලසූරිය වික්ටර්ගේ මාධ්‍ය භාවිතාව ප‍්‍රශ්න කල විට ඔහු සනත් සමග අතිශය අසාධාරණ තරගයකට එළඹියේය. මෙහිදී සනත් වික්ටර් විවේචනය කරමින් පල කරන ලිපිය සමගම ඊට පිළිතුරක්ද පලකරන වික්ටර් සනත් ගැන නොකියා කිව්වේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නට බැරි ගොන්කම නිසා ලංකාවේ ඉන්නට බැරිවූ මෝඩයෙකු වශයෙනි.
කෙසේ වුවද සමස්ථ රාවයම පටිසෝතගාමයේ දිශානගත වන විට වික්ටර් පමණක් මහින්දට කඬේ යාම පිළිබදව ඇතමුන් විවිධ මත පලකරන ලදී. කෙනෙක් කීවේ වික්ටර් එසේ කරන්නේ විසම්මුතික මතවාදයන් ජනතාව අතරට යැවීම සදහා ‘රාවයක්’ ඉතිරි කර ගැනීම සදහා ජනරංජනලා, කුසල් පෙරේරලා, විමලනාත්ලා, නුවන්ලා මහින්ද රෙජීමයට බැණ අඩගසද්දී ඔහු මහින්ද ශේප් එකේ තියාගන්නට එසේ කරන බවය. මෙම මතයෙහි යම් තර්කානුකූල බවක් තිබුණද වික්ටර්ගේ භූමිකාව තුල වික්ටර් නම් මාධ්‍යවේදියාගෙන් ලැබිය යුතු සැබෑ දායකත්වය මෙහිදී ඔහු හිතුවක්කාර ලෙස මගහැර ඇති බව කිවයුතුය.
මේ දෙගිඩි දෙවාරු මාධ්‍ය භාවිතාව රාවය ලේඛකයන්ගේද, පාඨකයන්ගේද සිත් වේදනාවට පත්කරන වැදගත්ම සිදුවීම අද එනම් 2012 පෙබරවාරි 28 වැනිදා සිදුවිය. රාවයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුනු උත්සවයට ප‍්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂටය. මෙහිදී එයට හේතුව පැහැදිළි කරමින් වික්ටර් අයිවන් කිව්වේ තවත් සිනහ උපදවන කතාවකි. ‘රාවය’ පෙර අත්දැකීම් අනුව දැන් ආණ්ඩු පෙරලන මාධ්‍ය භාවිතයෙන් ඉවත් වී ඇත්තේලූ. එබැවින් සාධාරණ ජන සමාජයක් උදෙසා වික්ටර් අයිවන් දකින සිහිනය වන්නේ සකළ දේශපාලනික එකගතාවයක් මගින් ඇතිවන පුර්ණ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්ලූ. එබැවින් එයට මූලික පියවර වශයෙන් එකම වේදිකාවක පක්ෂ විපක්ෂ මත ඝට්ටනය කිරීමට මෙය අවස්ථාවක් කරගන්නේලූ. මෙම ප‍්‍රකාශය එක් අතකින් සාධාරණ බව යමෙකුට සිතිය හැකි වුවත් රාවය සමග අත්වැල් බැදගත් බොහෝ දෙනාට මතුවූ ප‍්‍රශ්නය නම් රාවය දේශපාලන සහයෝගීතාවයට පහසුකම් සළසන්නාගේ භූමිකාවට අවතීර්ණ වන්නේ නම් රාවයේ පටිසෝතගාමය මකබෑවී නොයන්නේද යන්නයි. මේ සම්බන්දයෙන් අප‍්‍රසාදයට පත් රාවයේ දිගුකාලීන ගමන් සගයන් වූ කුසල් පෙරේරා, චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තීරණාත්මක චරිත කිහිපයක්ම මෙම සංවත්සරික සභාවෙන් පිටවී ගිය බව සදහන් කරන්නේ අතිශය කණගාටුවෙනි. වික්ටර් කියන ආකාරයට රාවය එක්කෝ මහින්ද රනිල් හා අනෙකුත් දේශපාලකයන් එකතුකරගෙන පහසුකම් සළසන්නාගේ භූමිකාවට පස්සා දොරින් නොව කෙලින්ම අවතීර්ණ විය යුතුය. නමුත් එවිට රාවය සමග සිටි දිගුකාලීන ගමන් සගයන් බොහොමයක් රාවය හැර යනු නොඅනුමානය. එසේත් නැතහොත් රාවය මෙතෙක් පැමිණි ගමන්මග අනුව රාවයේ භූමිකාව හරිහැටි අවබෝද කරගෙන ඉදිරියටත් පටිසෝතගාමී මාධ්‍යකරුවාගේ භූමිකාව ඉටු කළ යුතුය.
දෙකෙන් එකක් මිස එකගෙයි කෑ නොහැක.

 
Leave a comment

Posted by on February 29, 2012 in Uncategorized

 

කුඩු මර්වින්ගේ මරණය අපට කියන කතාව


ආසියාවේ ආශ්චර්යය යැයි කිය ශ‍්‍රී ලංකාවේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සැකකරුවකු දෙනෝදාහක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් තවත් ජනාකීර්ණ ප‍්‍රදේශයකදී පුළුස්සා මරා දමා ඇත. මෙම ප‍්‍රවෘත්තිය කණ වැකුණු වහාම සිහියට එන එක් කරුණකි. එනම් මරණයට පත්කරනු ලැබ ඇත්තේ කුඩුකාරයෙකි. එසේ මෙසේ කුඩුකාරයෙකු නොව කුඩු රජෙකි. ඉදින් මියගිය එකාට ඔහොම වෙලා මදි කියා හිත හදා ගැනීමට නිද්‍රාශීලී ශ‍්‍රී ලාංකික ජනතාවට ඉතා පහසුවෙන් පුළුවන. නමුත් ලෙහෙසියෙන් අමතක නොකළහැකි කාරණාද ඇත. කුඩු මර්වින් පැහැර ගන්නා ලද්දේ නීති ක්‍ෂේත‍්‍රයේ මුදුන් මල්කඩ ඉදිරිපිටදීය. එනම් අවනීතිය යුක්තියේ දෙවගනගේ එළිපත්තේ සිට සෙළුව පෙන්වා ඇත. එමෙන්ම පැහැරගෙන යාම සිදුවී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ මාංචු පිටින් සිටින අවස්ථාවක වීම අතිශය භයානකය. සැකකරුවන් ප‍්‍රවාහනය කිරීමේදී ඔවුන්ට සිදුවෙන සකළවිධ උපද්‍රවයන් සම්බන්දයෙන් වගකීම එම ප‍්‍රවාහනයට සම්බන්දවන බන්ධනාගාර නිලධාරීන්ට පැවරේ. එබැවින් සැකකරුවකු ප‍්‍රවාහනය කරන විට ඔහුට මාංචු දමා, ගිනි අවි සහිතව උපරිම ආරක්ෂාව යටතේ එය සිදුකරන ආකාරය අධිකරණ සංකීර්ණයක් අසළට ගිය කල දැකිය හැකිය. සැක කරුවන් එක් කෙනෙකුට වැඩි ප‍්‍රමාණයක් සිටින අවස්ථාවකදී ඔවුන් සියල්ල දම්වැලක් ආකාරයෙන් එකට ඈදා ප‍්‍රවාහනය කිරීම සිරිතයි. මේ සකළවිධ උපක‍්‍රම යොදනු ලබන්නේ අදාළ සැකකරුවා අත්අඩංගුවෙන් මිදී පලා යාම වැලැක්වීමට පමණක් නොව සැකකරුගේ සුරක්ෂිතභාවය සහතික කීරීමටද වේ. මෙවන් තත්වයක් යටතේ තමන් භාරයේ සිටින සැකකරුවෙකු පැහැරගෙන යාම හෝ වෙනත් ආකාරක අනතුරකට මුහුණදීමේ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරගත යුතුවේ. නමුත් වගකීම භාර ගැනීම පමණක් ප‍්‍රමාණවත් වන්නේද යන්න ගැටළුවකි. එබැවින් මෙම තත්වය විග‍්‍රහ කිරීමට සිදුවන්නේ පාතාලය මර්ධනය කිරීමට මෑත අතීතයේ පොලීසිය අනුගමනය කරනලද ජනප‍්‍රිය-ප‍්‍රසිද්ධ-රහස්‍ය ක‍්‍රමවේදයේ තවත් මුහුණුවරක් වශයෙනි. කුඩු මර්වින් පැහැරගත්තා යැයි කියන වේලාවේ අදාළ ස්ථානයේ අවම වශයෙන් දෙසීයක පිරිසක් වත් සිට ඇත. නමුත් තවමත් පැහැරගත්තවුන්ට වූ හදියක් අසන්නට නැත. බස් රථයකින් වැටෙන පර්ස් එකක් කම්කරුවකු යටිමඩි ගසාගෙන යන විට, ලොකු ලොක්කන් මහ ඉහළින් කතා කරන කොළඹ ආරක්ෂක කැමරා පද්ධතිය භාවිතා කරමින් එය අල්ලාගෙන මහා අපරාධයක් හෙළිකලා සේ රටටම අඩබෙර ගසන පොලීසියට මෙම සිද්ධියේදී කැමරා මතක් වී හෝ නැත. අළුත්කඬේ උසාවි සංකීර්ණයෙන් කොයි පැත්තට ගියද කැමරා සවිකර ඇති මහා මංසන්ධි හමුවේ. නමුත් නේතියස් චන්ද්‍රපාල කුඩු කාරයෙකි. අවතාරවල ප‍්‍රතිබිම්බය කණ්නාඩියෙන් දර්ශනය නොවන බව කියනු ලැබේ. එබැවින් නේතියස් චන්ද්‍රපාල නැමති කුඩුකාරයාද කැමරා වලට දර්ශනය නොවනවා වියයුතුය. ඔහුගේ චිතකය දැල්වුණු තිඹිරිගස්යාය හයිලෙවල් පාර ප‍්‍රදේශයද නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වන ආරක්ෂක කැමරා පද්ධතියකින් යුක්ත ප‍්‍රදේශයක් වුවද එ කැමරා වලටද කුඩු මර්වින් හො ඔහුගේ ගහලයන් දර්ශනය වී නැත. අනෙක් උත්ප‍්‍රාසජනක සිද්ධිය වන්නේ කුඩු මර්වින්ගේ සිරුර මහමග දමා ගිනිතබා ඇත්තේ මහ දවල් මිනිසුන් යන එන මාර්ගයක වීමය. එක්තරා කාන්තාවක් ප‍්‍රකාශ කලේ තමන් පෙ.ව 9ට එම ස්ථානයෙන් ගමන් කලද එවැන්නක් නුදුටු බවයි. එසේනම් ජනාකීර්ණ මාර්ගයක මහ දවාලේ මිනියක් දැවීමෙන් පසු පඩිගසකට හෝ හානියක් නොවී ෂේප් වී යාමේ හැකියාව දකුණු ආසියාවේ ආශ්චර්යවත් දේශයේ ඇත. මෙවන් විෂමතාවයක් පැනනැගී ඇත්තේ මන්ද? එය බහුතරයට පැනනගින ප‍්‍රශ්නයක් නොවිය හැකිය. නමුත් අපිට එම ප‍්‍රශ්නය නගන්නට සිතෙන්නේ කුඩුකාරයන්ට ඇති පක්ශපාතීත්වයක් නිසා නොව කුඩු කාරයාත් මනුශ්‍යයෙකු බැවිනි. ඔහු අධිකරණයෙන් වරදකරු ලෙස තීරණය කොට නොතිබුණු බැවිනි. කුඩු කාරයන්, පාතාලයන් අවිධිමත් ක‍්‍රමවේද යටතේ මර්දනය කෙරෙන විට විසම්මුතික මත දරන්නන්ද එ් ලයිසන් එක යටතේම වල පල්ලට යැවෙන බව සීයට දෙසීයක් විශ්වාස බැවිනි. එබැවින් ප‍්‍රශ්නය මෙසේ වෙනස් වේ. මනුශ්‍යයෙකු අධිකරණයේදී පැහැරගෙන ගොස් ඝාතනය කර පැය හතලිස් අටක් ගතවන තුරුත් පොලීසිය කිසිවක් කර නැත. මේ තත්වය තුලදී සාමාන්‍ය සිවිල් ජනතාවගේ සුරක්ෂිත භාවය ගැන කවර කතාද? එබැවින් අපරාධ මර්දනය කිරීමටද කලින් නීතියට පිටින් සිටින මේ ගහලයන් මර්දනය නොකලහොත් නුදුරු අනාගතයේදීම සකළ ශී‍්‍ර ලංකාවාසීන්ටම මුහුණ දීමට සිදුවන්නේ මහත් ව්‍යසනයකටය.

 
Leave a comment

Posted by on February 20, 2012 in Uncategorized

 

පෞද්ගලික ලැගුම්හල් හා පොලීසියේ භූමිකාව


දඹුල්ල ප‍්‍රදේශයේ පුද්ගලික ලැගුම්හල් සම්බන්දයෙන් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමක් පිළිඹදව ප‍්‍රශංසාත්මක ලිපියක් පසුගිය ඉරිදා දිනෙක (2011.12.11) ලංකාදීප පුවත්පතේ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස නම් පුද්ගලයෙකු විසින් පල කොට තිබුණි. දඹුල්ල පොලීසිය විසින් අදාළ සෝදිසි මෙහෙයුම දියත් කරන ලද්දේ ඔවුන් විසින්ම පසුගිය ඉරිදාවක එම පුවත්පතේම පළ කරන ලද යම්කිසි හෙළිදරව් කිරීමක් පාදක කරගෙන බව ලියුම්කරු සදහන් කරන්නේ යම්කිසි ආඩම්බරයකින් බවද පෙනුණි. ඊට අමතරව පසුගිය ඉරිදා (2011.12.18) දිනද ලැගුම්හල් හා වෙනත් රහසිගත ස්ථාන කරා යන පෙම්වතුන් හා අනෙකුත් ලිංගික සතුට සොයන්නන් පිළිබද දීර්ඝ ගවේශනාත්මක ලිපියක් පළකර තිබුණි. මෙහිදී මෙම ලිපි වල ලියුම්කරුවන් විසින් ඉස්මතු කරන ලද්දාවූ කාරණා සුචරිතවාදී සමාජ දෘෂ්ටිකෝණයෙන් සාධාරණ බව පෙනී ගියද මේ සම්බන්දයෙන් නෛතික දෘෂ්ටි කෝණයෙන්ද විග‍්‍රහයක් ඉදිරිපත් කිරීම උචිත යැයි මට හැගුණි.
මෙහිදී මෙම ලිපි දෙකම සම්පාදනය වී ඇත්තේ ලැගුම්හල් කරා ලිංගිකත්වය යන අරමුණින් යන සියල්ලන් කෙරෙහිම විරෝධාකල්පයකින් බව පැහැදිලිය. මූලික වශයෙන් මෙහි අරමුණ වී ඇති මෙම අපචාර වලට ගොදුරු වන්නාවූ පාසල් දරු දැරියන් ගලවාගැනීම ඉතා උතුම් අරමුණක් බවට මෙම ලියුම්කරුටද විවාදයක් නැත. සදාචාරමය වශයෙන් ගත්කල අනාචාරයේ හැසිරෙන්නන් හා බාලවයස්කාර පෙම්වතුන් සාකච්ඡුාවෙන් බැහැර කරන්නේ නම් ඉහතකී කාණ්ඩ දෙකටම අයත් නොවන පෙම්වතුන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදුවී ඇත. පෙම්වතුන්ට පෙම්වතුන් ලෙස සිටීමට අයිතියක් ඇත. බාලවයස්කරුවකු නොවන ඕනෑම අයෙකුට තමා කැමති අයෙකු සමග ලිංගිකව හැසිරීමටද අයිතියක් ඇත.
මෙම පෞද්ගලික ලැගුම්හල් සහ එ්වායේ ලැගුම්ගන්නා පුද්ගලයන් සම්බන්දයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි යම් වපසරියක් ඇත. සමාජයේ ආරක්ෂාව උදෙසා එම වපසරිය තුල ක‍්‍රියාත්මක වන පොලීසිය සමාජයේ ආරක්ෂාව උදෙසාම එම වපසරිය ඉක්මවා යාමෙන් වැළකිය යුතු බව මෙම ලියුම්කරුගේ හැගීමයි. සදාචාරය වැනි කාරණා සම්බන්දයෙන් පොලීසියේ ක‍්‍රියාකාරිත්වයට යම් බුරුලක් දිය යුතු බවද ඇතැම්හු විශ්වාස කරති. පොලීසිය ඇතැම් අවස්ථා වලදී තම සීමාවන් ඉක්මවා ක‍්‍රියාකිරීමට පෙළඹෙන්නේ ඇතැමුන් සාධාරණීකරණය කරන “බුරුල” ප‍්‍රයෝජනයට ගනිමින් බව සැලකිය යුතුය. අගුලාන සිදුවීම, දොම්පේ සිදුවීම, කටුනායක නිදහස් වෙළදකලාපයේ සිදුවීම වැනි අවාසනාවන්ත තත්වයන් පොලීසිය එම “බුරුලෙන්” ප‍්‍රයෝජන ගත් අවස්ථා සදහා මෑත කාලීන උදාහරණ වේ.
මෙහිදී ලැගුම්හල් සම්බන්දයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්දයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්දයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබදව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.
ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල් වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සදහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කිරීම කරන්නෙකු වරදකරු වන්නේය. එ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක් රැගෙන ගොස් ඇය සමග ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) හීදී මේ බව දක්වා ඇත.
යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සම`ග රැදී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ද තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැදුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමග නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ශේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපි වල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්දයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.
යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැදී සිටියදී සිදුකරනු ලබන පරික්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොණු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්දයෙන් පමණක් වේ. ලැගුම්හල තුල ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථා වලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්දයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කලේද, ඒවායේ රැදී සිටි ”ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ ලිංගික වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.
යම් අවස්ථාවක යම් කාන්තාවක් සම`ග ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දුෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොද සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබද කාරණය බල නොපායි.
විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමග ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කල යුතුය. කිසි`දු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබ`දතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.
එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාල කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුල ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.
වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැුසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ශේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුල මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියළු සමාජ ක‍්‍රියාවලියක් තුලදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.
කුරුණෑගල නගරයේ වර්තමාන තත්වය මෙය වටහා ගැනීමට මනා උදාහරණයකි. කුරුණෑගල නගරයේ වර්තමානයේ පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමට හෝ ස්ථානයක් නොමැත. රජපිහිල්ල උද්‍යානයේ පෙම්වතුන්ට රැදී සිටීමට ඉඩ නොදෙයි. වැව රවුමේ බංකු වෙන්ව ඇත්තේ විශ‍්‍රාමික වයෝවෘද්ධ මහත්වරුන්ට හා රාජකාරීමය කටයුතු සදහා නගරයට පැමිණෙන්නන්ට කල් මැරීම සදහා ය. ඇතුගල ප‍්‍රදේශය දැන් පෙම්වතුන්ට සපුරා තහනම් කලාපයකි. කුරුණෑගල බස් නැවතුම්පලේ හෝ වෙළද සංකීර්ණයේ හෝ පෙම් පිළිසදරක යෙදී සිටීමට කිසිදු පෙම් යුවලකට ඉඩක් නැත. කුරුණෑගලදී නිදහසේ පෙම් පිළිසදරක යෙදීමටනම් එක්කෝ ඇවිද ඇවිද කතා කල යුතුය. නැතිනම් තමාගේම කියා වාහනයක් තිබිය යුතුය. එවිට එය මග නවත්වා සුළු වේලාවක් නිදහසේ කතා කළ හැකිය. තමාගේම කියා වාහනයක් ඇත්තේ තරුණ පෙම්වතුන්ගෙන් කීයෙන් කී දෙනාටද? ඉදින් එසේ සදාචාරවත් ලෙස තම පෙම් සබදතාව පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ අවුරා ඇති කල පෙම්වතුන් ඉබේම තල්ලූ වන්නේ කාගෙන්වත් කරදරයක් නැති, කාටවත් කරදරයක් නැති, පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකෙන ලැගුම්හල් කරා නොවේද?
සමාජයක පැවැත්මට සහ අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීමට සදාචාරවත් බව හා සංස්කෘතිය වැදගත් සාධකයන් වන බව සත්‍යයකි. එසේ වුවද සංස්කෘතිය, සදාචාරය වැනි පුද්ගලබද්ධ කාරණාවන් සම්බන්දයෙන් නීතියට ක‍්‍රියාත්මක විය හැකි යම් සීමාවක් පවතී. එසේ සීමාවක් පනවා ඇත්තේද මානව සමාජයේම සුබසිද්ධිය උදෙසා බව අමතක නොකළ යුතුය. එබැවින් සදාචාරය සුරක්ෂිත කිරීමෙහිලා ආගමික හා සිවිල් සංවිධාන සතු වගකීම පොලීසිය වෙත ආරෝපණය කොට පොලීසියේ යකඩ අතින් සදාචාරය සුරක්ෂිත කරවාගන්නට යාම ආනුශංගික ගැටළු රාශියකට අත වැනීමක්ම වන්නේය.

 
2 Comments

Posted by on February 20, 2012 in Uncategorized