RSS

Monthly Archives: October 2011

සිංහරාජයේ ඇත්ත කතාව


ආරම්භයේ තේ වත්ත මැදින් පාර කපා ඇති අයුරු

ආරම්භයේ තේ වත්ත මැදින් පාර කපා ඇති අයුරු

ශ‍්‍රී ලංකාවේ තිබෙන අනුපමේය ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකෙරෙන බවට විශාල ආන්දෝලනයක් පසුගිය සමයේ ශ‍්‍රී ලංකාවේ පරිසර ක්ෂේත‍්‍රය කළඹවමින් පැතිර ගියේය. සිංහරාජ වනාන්තරය ආසන්නයේ පවත්නා ඉළුබෙකන්ද ගම්මානයේ සිට සූරියකන්ද දක්වා මෙම මාර්ගය ඉදිකෙරෙන බවත්, එය ඉදිකරන්නේ සිංහරාජ වනාන්තරය දෙකඩ වෙන ලෙස බවත් මෙය මහත් අපරාධයක් නිසා එය වැලැක්විය යුතු බවත් පැතිර ගිය ආරංචිය වූ අතර එය නැවත නැවතත් මාධ්‍ය මගින්ද සනාථ කරන ලදී.
මෙම තත්වය පිළිබද මත පල කිරීම ඇතැමුන්ට මෙන් කොළඹ සිටම සිදුකල හැකිව තිබුණද වඩාත් උචිතම ක‍්‍රමවේදය වන්නේ අදාල පරිශ‍්‍රය වෙත ගොස්, සිදුවීම සියැසින් දැකීම හරහා ඒ පිළිබදව නිගමනයකට එළඹීම බව අප විශ්වාස කළ බැවින් පසුගිය ඔක්තෝබර් 5 වැනිදා අපි සිංහරාජ ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවෙමු.
උදෑසන 4.30ට කොළඹින් පිටත් වූ අපගේ පළමු නවාතැන්පොල වූ කුඩව සිංහරාජ ප‍්‍රවේශ දොරටුව වෙත අප ළගා වන විට පෙ.ව 8 පමණ වී තිබිණ. සිංහරාජය පිළිඹද යම් අවබෝධයක් ලබාගැනීමට අමතරව ඉහත සදහන් මාර්ගය ඉදිකිරීම සම්බන්දයෙන් සිංහරාජයේ ආරක්ෂකයන්ගේ හා මග පෙන්වන්නන්ගේ මත විමසා දැන ගැනීම අපගේ අරමුණ විය.
“මේ පාර තියෙන්නෙ සිංහරාජෙන් එළියෙ. ඒකෙන් සිංහරාය වනාන්තරයට කිසිම ඍජු බලපෑමක් වෙන්නෙ නෑ. මේ පැත්තට, ඒ කියන්නෙ ඔය මහත්තුරු දැන් ආප පාර කපන කාලෙත් ඔය වගේම එක එක්කෙනා විරුද්ධ වුණා. ඒ අය කියන්නෙ අපි සිංහරාජෙට එන්නෙ හොදට තාරදාපු පාරවල් වල යන්න නෙවෙයි, අපහසුවෙන් ගලින් ගලට පැන පැන යන්න කියලා. එතකොටලු නියම වනාන්තර ගතිය දැනෙන්නෙ.”
අපේ මග පෙන්වන්නිය වූ චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය.

මේ පාර වනාන්තරයට පිටින් තිබුණත් අඩුම තරමේ වනාන්තරයට ආසන්නයේ නිරන්තර වාහන ගමනාගමනය සිදුවෙන පාරක් පිහිටලා තිබීම නිසා ඒ වනාන්තරයේ නොඉදුල් ස්වභාවයට යම් තරමකින් හානි නොවන්නේද, කාලයත් සමග මේ අභිනව මාර්ගය අවට ප‍්‍රදේශය නාගරීකරණයට ලක් වීම රක්ෂිතයට අහිතකර ලෙස බල පානවා නේදැයි අප ඇසූ ප‍්‍රශ්නයට මගපෙන්වීම් කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වූ සුසන්ත මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

“මේ පාර පැහැදිලිවම තියෙන්නේ රක්ෂිත ප‍්‍රදේශයෙන් පිට. ඒත් ඔබතුමාලා ඔය කියන විදියේ අවදානමකුත් තියෙන බව ඇත්තයි. රක්ෂිතයෙන් අයුතු ප‍්‍රයෝජන ලබන අයට, ඒ කියන්නෙ ජාන මංකොල්ලකරුවන්ට, දැව හොරොන්ට වගේ අයට මේ මාර්ගය නිසා යම් පහසුවක් සැලසෙනවා. ඒ වගේම වනාන්තරයට ආසන්නයෙන් නිරන්තරයෙන් රථවාහන ගමන්කරන පාරක් තියෙනකොට සිදුවන ශබ්ද දුෂණය, වායු දුෂණය වැනි දේවල් නිසා සතුන්ගේ හා ශාක වල පැවැත්මට සිදුවිය හැකි බලපෑම විශාලයි. ඒත් මේ පාර නිසා ඔය කියන ගම්මානයේ වැසියන්ට සූරියකන්දට තියෙන දුර කිලෝමීටර් 8ක් 9ක් විතර දක්වා අඩුවෙනවා.”

වැද්දාගලින් පිටත් වූ අපි පොතුපිටිය දක්වා වූ අතිශය දුෂ්කර මාර්ගය ඔස්සේ පොතුපිටියට ළගා වීමු. මෙතැන් සිට අපට මග පෙන්වන්නට ඉදිරිපත්ව සිටියේ රක්වාන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී, පාඨශාලාචාර්ය සේනාධීර මහතාය.

“මෙතන බොහෝ දෙනා නොදන්නා මෙහෙම පැත්තකුත් තියෙනවා. 1994 චන්ද්‍රිකා මැතණියගේ ආණ්ඩුව යටතේ තමයි සිංහරාජය ලොක උරුමයක් ලෙස පිළිගන්න කියලා යුනෙස්කෝවට ඉල්ලීමක් ඉදිරිපත් වෙන්නෙ. එතනදි යුනෙස්කෝවට ඉදිරිපත් කරන්න සිංහරාජ රක්ෂිතයට අයත් වෙන්නෙ මෙන්න මේ ප‍්‍රදේශයයි කියලා නිවැරදි සිතියමක් ඉදිරිපත් කරන්න සහ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර වලින් දක්වන්න වෙනවා. ඒ සදහා ලංකාණ්ඩුවෙන් ඉදිරිපත් කළ සිතියම හා වාර්තාව සමග සංසන්දනය කරමින් යුනෙස්කෝව චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිංහරාජය පරික්ෂා කරද්දී ඉදිරිපත් කරලා තිබුණ බිම් ප‍්‍රමාණයම සැබෑ වශයෙන් නොතිබුණු බව පෙනී ගියා. ඒ නිසා ආණ්ඩුව කලේ අවට බිම් ප‍්‍රමාණයත් එකතු කරලා අළුත් වාර්තාවක් හදලා යුනෙස්කෝවට ඉදිරිපත් කරලා සිංහරාජය ලෝක උරුමයක් කරන්න අනුමැතිය ගත්තු එක. මේ යටතේ එතෙක් කල් ප‍්‍රාදේශීය සභාවන් යටතේ තිබුණු පැරණි ගම්සභා පාරවල් මධ්‍යම රජයට පවරා ගත්තා. එතකොට අවුල් සහගත තත්වයක් නිර්මාණය වෙනවා. ඒ පවරාගත්තු පාරවල් ඇත්ත වශයෙන්ම තිබුණත් යුනෙස්කෝවට ඉදිරිපත් කළ සිතියමේ එහෙම පාරවල් නැහැ. ඒක නිසා සිංහරාජය සම්බන්දයෙන් ලංකාවේ ප‍්‍රසිද්ධ කරපු සිතියම එකක්, ලෝක උරුමයක් බවට අනුමැතිය ගන්න යුනෙස්කෝවට ඉදිරිපත් කළ එක තවත් එකක්. ඔන්න ඔය තත්වය නිසා මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙනවා. මේ ඉළුබකන්ද ගම්මානය ඉතා දුෂ්කර ගමක්. ඒ ගමේ අහිංසක මිනිස්සු මේ දේවල් වලට පලි නැහැ. මේ පාර ඉදිකලොත් ඒ ගමට විතරක් නෙවෙයි, මේ පළාතටම විශාල සේවයක් වෙනවා. මේකට විරුද්ධ වෙන්නෙ මේ ගැන හරියට දන්නෙ නැති අය. මේ පාර සිංහරාජය මැදින් කපනවාය, සිංහරාජය මේ පාර නිසා දෙකඩ වෙනවාය කියන්නේ මේ පැත්ත පළාතටවත් ආපු නැති අය. ප‍්‍රාදේශීය සභාව තුලත් පළාත් සභාවේත් එක්සත් ජාතික පක්ෂය විදියටත්, මේ පිළිබදව හරියටම දන්න මේ පැත්තෙ මිනිස්සු විදියටත් අපි මේ සම්බන්දයෙන් අනුමැතිය හා සහයෝගය පලකරලා තිබෙනවා.”
තත්වය සම්බන්දයෙන් අපට අදහස් දැක්වූ සේනාධීර මහතා එසේ පැවසීය.

පොතුපිටිය මංසන්ධියෙන් දකුණට හැරුණු අපි ඉළුබෙකන්ද ගම්මානය කරා වැටුණු පටුවූද, දුෂ්කර වූද මාර්ගයෙහි ගමන් කලෙමු. දකුණතින් වූයේ අඩි තුන්හාරසීයක් ගැඹුරු හෙල ය. වමතින් වූයේ කන්දය. මේ දෙකටම මැදින් වූ, කිසිසේත්ම වාහන දෙකක් මාරු වීමට ඉඩ නැති දුෂ්කර මාර්ගයකි එය. කිලෝමීටර් දෙකක් යනතුරු පළින් පළ කැඩුණු තාරපාරය. ඉන්පසු තවත් කිලෝමීටරයක් පමණ අගල් ගණනක් උඩට පාර මැද ගල් උරුක් වූ අපගේ රථයේ යටිපැත්ත සූරාලනසුලු අති දුෂ්කර මාර්ගයකි. අවසාන කිලෝමීටර් දෙක මෑතකදී කොන්ක‍්‍රීට් ඇතිරීම මගින් සකස් කර තිබුණි.

මෝටර් රථයෙන් යා හැකි ප‍්‍රමාණය ඉක්මනින් අවසන් විය. අපි පයින් ගමන් කිරීමට වීමු.
“මහත්තයලා කොහෙන්ද? කොහෙද යන්නේ?”
ගම්වාසීහු අසන්නට පටන්ගත්හ

“අපි පුවත්පතකින්. සිංහරාජය හරහා පාරක් කපන බවට මේ දවස් වල කතාවක් යනවානේ. ඒක ගැන විවිධ අය විධ කතා කියනවා. අපි ආවේ ඇත්ත මොකක්ද කියලා අපේ ඇස් දෙකින්ම බලාගන්න.”
අපි පිළිතරු දුන්නෙමු.

“වැඩක් නෑ මහත්තයො. මීට කලින් කී දෙනෙක් නම් ආවද. මෙතන හතර අතේ කැමරාව අල්ලලා වීඩියෝ කරගෙන ගිහින් දැම්මෙ වෙන බහුබූත. කිව්වෙ ඇත්ත කතාව නෙවෙයි, වෙනිං මොකක්ද කුණුහරුපයක්. එක නාලිකාවක සිංහරාජය ගැන කියන්න ගිහින් බෝපත් ඇල්ලත් පෙන්නුවා. මේවා සහගහන අපරාධ මහත්තයෝ. ඔය මාධ්‍යවේදියො හින්දා අද ලංකාවම අපි ගැන හිතාගෙන ඉන්නෙ ත‍්‍රස්තවාදීන්ටත් වඩා අන්ත විදියට.”
එක් තරුණයෙකු ශෝකබරව මදක් ආවේගශීලීව එසේ පැවසීය.

“මහත්තයෝ මේක පුරාණ පාරක්. දෙනාඔය පාරේ ඉදලා පරණ සැතපුම් 96 කණුවේ ඉදන් ඉළුබකන්ද වත්ත දක්වා පාර එක්දාස් අටසිය ගණන්වල ඉදලා තිබිලා තියෙන්නේ. පස්සෙ පොතුපිටිය හන්දියේ ඉදන් ඉළුබකන්ද දක්වා පාර ගම්සභා පාර කලා. 65-70 ඩඞ්ලි හාමුගේ ආණ්ඩුව කාලේ රත්නපුරේ මහදිසාපති පතිරණ මහත්තයාගේ මැදිහත් වීමෙන් නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සභික ඒ.බී.එච් පිලපිටිය අප්පෝ කොළණි ඉඩම් දුන්නෙ අක්කර දෙක හමාර ගාණෙ. මේ පාර කපන්නෙ ඔය කියන, මිනිස්සුන්ට බෙදලා දීපු ඉඩම් මැදින් මිසක් සිංහරාජය මැදින් නෙවෙයි.”
ගම්වාසී විශ‍්‍රාමික ග‍්‍රාමසේවක මහතෙක් එසේ කීය.

“අපිට ඒ ඉඩම් වලට ඔප්පු තියෙනවා මහත්තයෝ. මෙන්න බලන්න එක ඔප්පුවක්. අපි දැන් පාරට අහුවෙන හැම ඉඩමකටම අදාළ ඔප්පු එකතු කරගෙන යනවා. අපේ අයිතිය තියෙන ඉඩං මැදින් අපි පාරක් කපනවා නෙවෙයි මොකක් කරගත්තත් කාටවත් මොකද මහත්තයෝ. සිංහරාජය මැදින් වැව්ගම්මන හරහා නාක්කාවිට පාර කැපුවා. කවුරුවත් මොකවත් කිවුවෙ නෑ. අපි මේ සිංහරාජය අයිනෙ තියෙන අපේ ඉඩමක පාරක් කපනකොට තමයි කාගෙ කාගෙත් බොක්ක උණු වෙලා තියෙන්නෙ.”
ලිපිගොණුවක් අතේ තබාගෙන මට ඔප්පු කිහිපයක් පෙන්වමින් එක් තරුණයෙකු පැවසීය.

ගම්වාසීන් කිහිපදෙනෙකුද සේනාධීර මහතාද සමග අපි ප‍්‍රශ්නගත මාර්ගය බැලීමට ඉදිරියට ගියෙමු. අඩි පහළොවක් පමණ පළලට මාර්ගය කපා සාදා තිබුණි. මාර්ගය ඉදිකිරීම රජය විසින් අත්හිටුවීම නිසා වැඩ වැරූ බුල්ඩෝසරයක් නිසළව පසෙක වූ නිවසක මිදුලේ තිබුණි. මාර්ගයේ මුල් මීටර් 500ක් පමණ වූ ප‍්‍රමාණය කපා තිබුණේ තේ වත්තක් මැදිනි මීටර් 800කින් පමණ මාර්ගය කපා තිබූ ප‍්‍රමාණය අවසාන විය. එතැන් සිට පැවතියේ අඩිපාරකි. මාර්ගය කැපීමට නියමිතව තිබුණේ මෙම අඩිපාර ඔස්සේය. අපි අඩිපාර දිගේ ඉදිරියට ඇදුණෙමු. වම්පසින් වූ බෙරගල රක්ෂිතයෙන් ආරම්භවන පෙත්තදොළ පසුකරමින් අපි අවතීර්ණ වූයේ එනසාල් වගාව පැවති ප‍්‍රදේශයටයි. අප පුදුමයට පත්කරමින් මේ ප‍්‍රදේශය දුරට දිස්වූයේ ඝන කැළෑවක් ලෙස වන අතර එහි ඇත්තේ වනාන්තර උඩුවියනක් පමණක් බවත් යටි රෝපණය ඉවත් කර එනසාල් වගාකොට තිබෙන බවත් දක්නට ලැබුණි.

පාර කැපීම නවතා ඇති ස්ථානය සහ ඉදිරියේදී පුළුල් කිරීමට යෝජිත අඩිපාර

පාර කැපීම නවතා ඇති ස්ථානය සහ ඉදිරියේදී පුළුල් කිරීමට යෝජිත අඩිපාර


“මහත්තයෝ මෙන්න මේකනෙ ප‍්‍රශ්නෙ. එනසාල් වගාවට උඩින් වනාන්තර ආවරණය ඕනෑ. ඒ නිසයි මේ හරියෙ කැලේ කපලා නැත්තෙ. කැළෑව වගේ පෙනුණට මේවා ඔක්කෝම මිනිස්සුන්ට අයිති ඔප්පු තියෙන ඉඩම්. සිංහරාජයේ මායිමට මේ පාරෙ ඉදන් අඩුමගානෙ කිලෝමීටර් භාගයක් වත් දුරයි. ඒ හින්දා ළගට ඇවිත් බැලුවොත් මිසක් ඈතට මේ හරියත් පේන්නෙ කැළෑව වගේ තමයි. ඉතිං මේ හරියට එන්නෙ නැතුව ඈත ඉදන් වීඩියෝ කරගෙන ගිහින් මෙන්න කැලේ, මෙන්න පාර කියලා පෙන්නුවාම ඉතිං පේන්නෙ කැලේ මැදින් පාරක් යනවා වගේ තමයි. ඒකට වරද තියෙන්නේ මේක ඒ විදියට පෙන්නන මිනිස්සුන්ගෙ මිසක් බලන අයගෙ නෙවෙයි.”
අප සමග පැමිණි ගම්වාසී තරුණයෙකු පැවසීය.

“මෙන්න මහත්තයෝ ඒ කාලෙ ලංකා මිණුම දවස් වල හිටවපු මායිම් ගල්”
ගම්වාසී වැඩිහිටියෙකු පැවසුවේ කුකුල් අඩි සලකුණ ඇති මායිම් ගලක් වෙතට මාගේ අවධානය යොමු කරවමිනි.

“ඇත්තටම ඉළුබකන්ද පැරණි ගම්මානය තියෙන්නෙ තව උඩහට වෙන්න. පහසුකම් ප‍්‍රශ්නත් එක්ක එහෙ ජීවත් වෙන එක අසීරු හින්දා මිනිස්සු පහළට ඇවිත් ගෙවල් හදාගත්තා. මේ ඉඩම් වල දිගටම එනසාල් වවලා තිබුණත් පස්සෙ පස්සෙ තිබුණ ගෙවල් කැඩිලා ගියා.”
වයෝවෘද්ධ ගම්වැසියෙක් පැවසීය.
රාති‍්‍රිය එබිකම් කිරීමට වූ නිසා අපි ආපසු හැරුණෙමු. ඒ එන අතරතුරදී සිංහරාජයේ ජෛව විවිධත්වය විනාශ වන සහ ඊට අභියෝග එල්ල වන පරිද්දෙන් මාර්ගයක් ඉදිකිරීම සම්බන්දයෙන් එක් පරිසර සංවිධානයක් විසින් ගම්වාසීන් කිහිපදෙනෙකුද, ප‍්‍රාදේශීය සභාවද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවද වගඋත්තරකරුවන් කරමින් මෙම මාර්ගයට එරෙහිව ඉන්ජන්ෂන් තහනමක් ඉල්ලා අධිකරණය ඉදිරියේ නඩු පවරා ඇති බවද දැන ගන්නට ලැබුණි.

“අනේ මහත්තයො. පුළුවන් නම් අපිත් අහිංසක මිනිස්සු බවත් ත‍්‍රස්තවාදියෝ නොවන බවත් මිනිස්සුන්ට පහදලා දෙන්න. කොටින්ම ඇත්ත තත්වය මිනිස්සුන්ට කියන්න. අපි ඉල්ලන්නෙ එච්චරයි. හදිසියෙ කවුරුහරි අසනීප වුණත් ගෙනියන්න අපිට හරියට ඉස්පිරිතාලයක් නැහැ. තිබුණත් ලෙඩා ගෙනියන්න හරිහමං පාරක් නැහැ. අපි කැළෑවත් එක්ක ඉපදිච්ච, ජීවත් වෙන, මැරෙන මිනිස්සු මහත්තයො. කොළඹ ඉදන් මේවා ගැන උඩදාගෙන ලියන කියන ලොකු ලොක්කන්ට වඩා මේ කැලෑව අපිට වටිනවා. අපි මේකට වරදක් වෙන්න ඉඩ තියන්නෙ නෑ.”
අප පිටත්වන මොහොතේ එක් ගම්වැසියෙක් ඉතාම හැගීම්බරව පැවසූ වදන්ය ඒ.

මේ චාරිකාව අවසානයේ අප තේරුම්ගත් ආකාරයට ඉළුබකන්ද ගම්මානය පිහිටා ඇත්තේ වම්පසින් ඇති බෙරගල රක්ෂිතයටද දකුණින් ඇති සිංහරාජ රක්ෂිතයටද අතර මැද්දෙහිය. මේ රක්ෂිතයන් දෙක බැලු බැල්මට පෙනෙන්නේ එකම වනාන්තරයක් ලෙසයි. මන්ද රක්ෂිත දෙක අතර පවත්නා බිම් ප‍්‍රදේශයෙහි වනාන්තරය එනසාල් වගාවට උචිත පරිදි එළි පෙහෙළි කර ඇත්තේ යටි රෝපණය පමණි. එනිසා ආසන්නයටම ගොස් බැලූ විට මිස ඒ ප‍්‍රදේශයේ ඇත්තේ වගා බිම් මිස වනාන්තරය නොවන බවක් නොපෙනේ. මාර්ගය ඉදිකිරීමට නියමිත වන්නේ මේ වගාබිම් හරහාය. මේ වගා භූමි සදහා ගම්වාසීන්ට රජයෙන් නිකුත් කරන ලද ඔප්පු තිබේ. එබැවින් ඈත සිට බලා වනාන්තරය මැදින් පාරක් කපන්නේය යනුවෙන් නිගමනය කිරීම මෙම ගම්වාසීන් සම්බන්දයෙන් සිදුකරන් ලබන අතිවිශාල අසාධාරණයකි.
සිංහරාජය ලෝක උරුමයක් බවට පත්කර ගැනීම සදහා එවකට පැවති රජය යම්කිසි පැහැදිලිව විනිවිද නොපෙනෙන කි‍්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇති බවක් පෙනේ. ඒ සම්බන්දයෙන් තවදුරටත් අධ්‍යනය කිරීම වැදගත් වේ. මෙම ඉඩම් 1966 දී ඔප්පු මගින් ජනයාට ලබාදුන් පසු 1994 දී නැවත පවරාගනු ලැබුවේද යන කාරණය මෙහිදී ප‍්‍රශ්නගත වේ. පවරාගනු ලැබුවේනම් ඒ සදහා අනුගමනය කළ යුතුයැයි නිර්දේශිත නිශ්චිත නෛතික ක‍්‍රියා පටිපාටීන් අනුගමනය කර ඇත්තේද යන්න සොයා බැලිය යුතුය. එබැවින් මෙහිදී යම් බරපතල ප‍්‍රශ්නයක් මතුවන බව පෙනේ. එනම් සිංහරාජය ලෝක උරුමයක් වශයෙන් නම්කරවාගැනීම ශ‍්‍රී ලංකා රජය සිදුකර ඇත්තේ කිසියම් වංචනික ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන්ද යන සැකය මෙහිදී ඉස්මතු වීමයි. එසේ වංචනික ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කොට ඇතිනම් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ සුජාත භාවය පිළිඹදවද ගැටළු මතුවනු ඇති අතර යුනෙස්කෝවට උත්තර බැදීමේ වගකීම එදා රජය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය මත පැවරෙන බවද අමතක නොකල යුතුය. ඒ අනුව මෙහිදී රජය කුමන ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යන කාරණය දෙස විමර්ශනාත්මකව බලා සිටීම මෙහිදී වැදගත් වන්නේය.
කෙසේ වෙතත් අතීතයේ කවුදෝ පණ්ඩිතයෙක් අලින් මොකක්දෝ එකක් කරන විට අපි තැලෙන බව කියා ඇත. අහිංසක, අසරණ ඉළුබකන්ද ගම්වාසීන්ට සිදුව ඇත්තේද ලොකු ලොක්කන්ගේ ගුණ්ඩු හා පරිසර සංවිධාන වල බැරියර් අතර ලොක්කන් නට්ටන් වීමට බව පැහැදිලිවම පෙනේ. එබැවින් මේ කාරණය සම්බන්දයෙන් එගම් වැසියන්ට සාධාරණයක් ඉටුකිරීම සදහාද සිංහරාජය ආරක්ෂා කරගැනීම සදහාද ජනතාවගේ නිරන්තර විමර්ශනාත්මක අවධානය මේ දෙසට යොමුකිරීම වැදගත්ය.

යෝජිත මාර්ගයේ පිහිටීම

සැලකිය යුතුයි- ලැබුණු තොරතුරු අනුව අදාළ ප‍්‍රදේශයට ගොස් තත්වය පරික්ෂා කර බැලීම සිදුකර ඇත්තේ මා හැර එක් රූපවාහිනී නාලිකාවක් සහ එක් පුවත්පතක් විසින් පමණි. එනම් සිද්ධිය පරිශ‍්‍රයට ගොස් පරික්ෂා කර ඇත්තේ මාධ්‍ය වේදී කණ්ඩායම් තුනක් විසින් පමණි. නමුත් ලංකාවේ ප‍්‍රචලිත සෑම මාධ්‍යයක් විසින්ම අද වන විට මේ සම්බන්දයෙන් කුමක් හෝ කියා ඇත. එබැවින් අපිට නිගමනය කිරීමට සිදුවන්නේ එම මාධ්‍ය බොහොමයක් මේ සම්බන්දයෙන් දක්වා ඇත්තේ එහෙන් මෙහෙන් අහුලාගත් ඕපාදුප පමණක් බවයි.

තවත් මීට වඩා වටිනා චායාරූප බොහෝ ඇත. අවශ්‍ය අය ඊ මේල් ලිපින කමෙන්ට් සමග සදහන් කරමින් ඉල්ලීම් කරන්න.

 
Leave a comment

Posted by on October 6, 2011 in Uncategorized

 

ෆන් එකේ ඔහොම යං……… ඔහොම යංකෝ…………….


මේ තියෙන්නෙ මං එහෙන් මෙහෙන් අහුලා ගනිපු නිවුස් කෑලි ටිකක්.

“අහවල් මන්ත‍්‍රී තුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙයි. ඔහුට වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති පදවිය එදිනම.”
“නේවි සමන් පොලීසියෙන් බේරීමට දිව යද්දී කැලණි ගගට වැටී මරුට.”
“දේශද්‍රෝහී ප‍්‍රකාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමට හැකිවන පරිදි නීති සම්පාදනය කල යුතු බව ආරක්ෂක ලේකම් කියයි.”
“මාධ්‍යවේදියෙකු අතුරුදන්. මෙහි කිසිම අභිරහසක් නෑ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි.”
“කන්දන චත‍්‍රිආරච්චිට එරෙහි මිනී මැරුම් චෝදනා නීතිපතිවරයා ඉල්ලා අස්කරගනී.”
“අපි ගෙවල් හදන්නයි අනිත් උන් චන්දෙ ගන්නයි. රජකුමරුගෙන් තර්ජන”

අපිට මතකයි මේ සිද්ධි දාමය මේ විදයටම මීට කලිනුත් සිදු වුණා.
දහස් ගණන් එක්සත් ජාතික පක්ෂයට එක්වෙති කියලා හැමදාම ප‍්‍රවෘත්ති වලට කිව්වා. හිටපු ප‍්‍රබල ඒත් ප‍්‍රතිපත්ති නැති දේශපාලකයෝ හැමෝම අද වගේම එදත් ගිහින් ආණ්ඩු පක්ෂයේ ඉදගත්තා.
විරුද්ධ මතධාරියෝ අතුරුදහන් වෙන්න පටන්ගත්තා. පාතාල සාමාජිකයන් යැයි හදුන්වපු බොහෝ අය හැමදාම පොලීසියට ආයුධ ඇති තැන් පෙන්නන්න ගිහින් සගවපු ආයුධයක් අරන් පොලීසියට වෙඩි තියන්න ගිහින් පොලිස් වෙඩි පහරින් මැරුණා. මාධ්‍යවේදීන්ට විශාල තර්ජන ආවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විධායක ජනාධිපති වෙනුවට උතුමාණන් කෙනෙක් බිහිවුණා. රාජාණ්ඩු සංකල්පය ලංකාවට වඩා උචිත බවට කුලී උගතුන් එදත් තැන තැන කතා වෙන්න පටන්ගත්තා. රජයට එහෙමත් නැත්නම් ආණ්ඩු පක්ෂයට විරුද්ධ හැමෝම දේශද්‍රෝහියෝ වුණා. රජය තමයි ජනතාවට ගැලපෙන හොදම දේ දන්නෙ කියන මතය රජය විසින්ම ප‍්‍රචලිත කරලා පසුව ජනතාවගේ මතයක් විදියට හුවාදැක්වුවා.
කොටින්ම එ.ජා.ප යට හැර වෙන පක්ෂයකට චන්දය දීලා වැඩක් නැහැයි කියලා මතයක් ජනතාව අතර සාර්ථකව ඇතිකරනු ලැබුවා. හැම තැනින්ම පෙනුනේ භීෂණය සහ මර්ධනය. ඔය අස්සේම විවිධ සංවර්ධන වැඩසටහන් වලින් මේ මලකඩ වහන්න ආණ්ඩුව උත්සාහ කලා. ඒක යම් තරමකට සාර්ථකත් වුණා. විපක්ෂය කෑලි කෑලි වලට බෙදී තිබුණා. තවත් වසර අඩුමගානෙ 20ක් වත් යනකල් ශ‍්‍රී.ල.නි.ප.ය ට ඔළුව උස්සන්න බැරිවෙයි කියලායි කවුරුත් හිතුවෙ. එහෙමත් නැතිනම් ඒ බව එ.ජා.ප රජය විසින් සාර්ථකව ඒත්තු ගන්වලා තිබුණා ජනතාවට.

ඉතින් අදත් එදාට වඩා සාර්ථකව හා නවීන මුහුණුවරකින් සිද්ධ වෙන්නේ එදා සිද්ධ වුණ දේම තමයි. අදත් ලංකාවේ දහස් ගණනක් අතුරුදහන්. හැමදාම චන්දෙ තියන පළාතක බර ගාණක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා. ආණ්ඩු පක්ෂයේ ඉන්න අයගෙන් බාගෙට බාගයක් විපක්ෂයෙන් ගියපු අය. විරුද්ධ මතධාරීන් අදත් දේශද්‍රෝහීන් හැටියට හංවඩු ගහනවා, අතුරුදහන් කරනවා. නමුත් ඒ කාලෙ වගේ පාර අයිනෙ පිච්චි පිච්චි තිබිලා මිනිය හම්බු වෙන්නෙ නෑ අද. මිනිය හොර රහසේම අතුරුදහන් කිරීම වඩාත් ඥාණාන්විතයි කියලා අදාල කටයුතු කරන්නෝ තේරුම් අරන් තියන බව පේනවා. පාතාලයෝ ළගක් වෙනකල්ම ආයුධ හොයන්න ගිහින් අර පරණ ගොන් වැඬේ කරලා මැරුම් කෑවා. ඒත් වැඬේ ටිකක් දුර ගියා වැඩි වගේ වුණ හින්දා පාතාලයෝ දැන් ලිංවලට ගංගා වැව් පොකුණු වලට පැනලා බේරෙන්න තීරණය කරලා. එහෙම බේරෙන්න යද්දි මැරෙන එකා පාතාලයෙක්ය, උගේ නම අහවල් එකය කියලා මොකක් හරි භයානක නමකුත් කියන්නෙ පොලීසියමයි. අපි ඉතිං ඒ නමේ භයානක කමෙන් හිතාගන්නවා පාතාලයාගෙ තරම. එහෙම හිතලා ඌ එහෙම හරි වල පල්ලට ගියපු එක ගැන සතුටුත් වෙනවා. ඌ ඇත්තටම පාතාලයෙක්ද, මැරුණෙ ඇත්තටම පොලීසිය කියන විදියටමද කියලා හොයන එකා ඉතිං එක්කෝ පල් මෝඩයෙක්, නැත්නම් පාතාලයට උල්පන්දම් දෙන එකෙක්.
එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත්වුණ විධායක ජනාධිපති ටික කාලෙකට පස්සෙ උතුමාණන් කෙනෙක් වුණා. දැන් නම් උතුමාණන් නැහැ. එහෙත් මහරජතුමා ඉන්නවා. අපි එහෙම කියලා ප‍්‍රශස්ති ගීත් ගයනවා. එදා වගේම අදත් අතීත රාජාණ්ඩු ක‍්‍රමවේදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා ලංකාවට උචිත වෙන්නෙ කොහොමද කියලා කුලී ප‍්‍රාඥ්ඥයෝ කෙල හලාගෙන ලියනවා. යුගයේ බුද්ධි ප‍්‍රබෝධය විදියට දක්වමින් මේ ඒකාධිපති රටාවන් වල වටිනාකම හුවාදක්වනවා. එදා වගේම අදත් ආණ්ඩු පක්ෂයට විරුද්ධ දේශපාලන මත දරන්නෝ කව්ද……………
දේශද්‍රෝහියෝ. අද ඔබ කියනවා වගේම රජකාලේ දඩුවම් දෙන්න ඕන, ගල් ගහලා මරන්න ඕන දේශද්‍රෝහියෝ.
වංචා දුෂණ එදත් බහුල වුණා. ඒත් එදා වගේම අදත් ජනතාවගේ සුභසිද්ධිය උපරිම කරන ආකාරය හොදින්ම දැනගෙන ඉන්නෙ රජය. ඉතිං කවුරු කවුරුත් ගොං කතා නොකියා රජය කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. වෙළෙදපොලට ප‍්‍රමිති ආයතනය ප‍්‍රතික්ශේප කල බාල සිමෙන්ති නිකුත් කලත්, කොටස් වෙළදපොලේ රාජ්‍ය අනුග‍්‍රහය ලබන වංචාකාරයින් සිටියත්, ගෝල්ෆේස් එක විකුණුවත්, සිංහරාජය මැදින් පාරක් කපලා පාරට අහුවෙන වටිනා දැව කදන් හොරෙන්ම විකුණාගත්තත්, වත්කම් බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධ නොකලත්, මිනීමැරුම් නඩු වලට චෝදනා ලබපු ඇමතිවරු එලිපිටම සුද්ධවන්තයො වුණත් අපිට ගැලපෙන්නෙ මොකක්ද කියන එක හොදින්ම දන්නෙ රජය නිසා අපි කරබාගත යුතුයි. ඒක තමා නියම දේශපේ‍්‍රමීත්වය.
අදත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට හැර වෙන පක්ෂෙකට චන්දෙ දීලා මොකටද. කිසි තේරුමක් නැහැ නේද කියන මතය වපුරන්න දෙයක් නැහැ. ඒ මතය ස්වේච්චාවෙන්ම වැපිරිලා තියෙනවා. චන්දෙ ආණ්ඩුවට නොදුන්නොත් මුහුණදෙන්න වෙන අගතීන් ගැන ජනාධිපති තුමාගෙම පුතා විතරක් නෙවෙයි, රජයට පක්ෂ විවිධ මාධ්‍යත් ජනතාවට යම්කිසි සිනාමුසු තර්ජනයකින් ප‍්‍රකාශ කරනවා.
ඉතිං අපි ජීවත් වෙන්නෙ කොච්චර ෂෝක් රටකද. මෙච්චර ෆන් එකේ ජනතාව තියන පාලන තන්ත‍්‍රයකට විරුද්ධ වෙන එවුන්ට අම්මපා අසූචි ගැහුවත් මදි තමා. මේ ඔක්කොම තියෙද්දි කට කැඩිච්ච එකෙක් අහන්න පුළුවන් අපිට නිදහස නෑ නේද කියලා. එහෙම අහන උන්ට නම් හෙන හතම වදින්න ඕන. ඔය හැම තැනම තියෙන්නෙ නිදහස. දැන් බස්වල බෝ්ම්බ පුපුරන්නෙ නෑ. ඔයිට වඩා තවත් මොන නිදහසක්ද අපිට. ඔන්න එතකොට තව පර ගැත්තෙක් කියන්න පුළුවන් දියුණු රටවල් වල මිනිස්සු අපිට වඩා පුළුල් සිවිල් අයිතිවාසිකම් ප‍්‍රමාණයක් භුක්ති විදිනවා කියලා. ඔහොම කියන උන් හොය හොයා මරන්න ඕන. දැන් කී පාරක් නම් කිව්වද ඔය අයිතිවාසිකම් අපේ රටට ගැලපෙන්නෙ නෑ කියලා. ආයිත් ඉතිං ඒකම අහනවා. ඕකුන් නම් හැබෑම බටහිර ගැත්තෝ තමා.
අපි හිතන්නෙ ඔන්න ඔහොමයි. එහෙම තමයි ඉන්න ඕනෑත් ඉතිං රටට ආදරේ ඇති මිනිස්සු. ආයෙ අහනවා.
කොව්වා කොහොම වුණත් කලින් දාහත් වසර අත්විදපු කෙනෙක් මේ අලුත් දාහත් වසරත් එක්ක ටිකක් නිවිහැනහිල්ලේ සංසන්දනය කරලා බැලුවොත් හොදටම නැතත් ඩිංගක් තේරුම් යාවි මේ ඉතිහාසෙම නේද දැන් මේ පාට පාට ඇදුමක් ඇදන් ආයෙත් ඇවිත් තියෙන්නෙ කියලා. ඒ කාලෙ අත් නොවිදපු කෙනෙක් සංසන්දනය කරන්ඩ මාන්සි වෙන්ඩ ඕන නෑ. එහෙම මාන්සි දැනුණොත් මගේ අහිංසක අම්මටත් බැණුම් අහන්න වෙයිනෙ. ඒ නිසා ඒ අය ඔය යන විදියටම එන්ජෝයි කරගෙන කරගෙන යන්ඩ.
හැබැයි පුතේ මතක තියාගන්ඩ. ඔය එන්ජෝයි කරගෙන කරගෙන යන්ඩ ගියාම අන්තිමට මාරම එන්ජෝයිමන්ට් එකක් සෙට් වෙනවා. ඒක හිනාව නවත්තගන්න බැරුව මැරෙන තරමේ මාරම ෆන් එන්ජෝයිමන්ට් එකක්.

 
1 Comment

Posted by on October 5, 2011 in Uncategorized

 

සමාජ සංවර්ධන ක‍්‍රියාවලියේදී ශ‍්‍රී ලාංකිකයාට අහිමි වූ හැරවුම් ලක්ෂ්‍යය


මානව හිමිකම් යන සංකල්පය වර්තමානයේ ශ‍්‍රී ලංකාවාසීන් බොහෝ දෙනාට, වඩාත් නිවැරදිව කියන්නේ නම් සිංහලයන් බොහෝ දෙනාට නයාට අදුකොළ වැනි අතිශය විනාශකාරී ප‍්‍රතික්ශේප කලයුතු සංකල්පයක් බවට පත්වී ඇති බව නොරහසකි. මේ සම්බන්දයෙන් බැලු බැල්මට පෙනෙන හේතුව ලෙස දර්ශනය වන්නේ මානව හිමිකම් යන සංකල්පයට මුවාවී ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හා ස්වෛරී භාවයට අනෙකුත් රටවල් සිදුකරන බලපෑම නොඉවසීම හා බැදුණු විරෝධයක් බවයි. මීට අමතරව මානව හිමිකම් වලින් ප‍්‍රධාන වශයෙන් ද්‍රවිඩ ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් යම් නිදහසක් අත්පත් කර ගැනීම තුල වර්තමාන සමාජයේ සිංහලයා භුක්තිවිදින ජාතිය මත පදනම් වූ ප‍්‍රාමාණික පන්ති වරප‍්‍රසාද හා සිංහල උත්තමවාදී වරප‍්‍රසාදයන් අහිමි වන්නේය යනුවෙන් ජනිත වී ඇති බිය ද මෙයට හේතුවක් ලෙස සැළැකිය හැකි වන්නේය.

කෙසේ වෙතත් මේ පිළිබදව ගැඹුරින් අධ්‍යනයක යෙදෙන්නේ නම් පෙනී යන කාරණාවක් වන්නේ ඉහත දක්වන හේතූන් මෙම විරෝධය සම්බන්දිත අවශේෂ කාරණාවන් පමණක් බවත් ප‍්‍රධාන හේතුකාරකය මීටත් වඩා ගැඹුරු වූද අප උපතින් හිමිකරගත්තා වූද කිසියම් හැගීම් සමුදායක් බවයි. වඩාත් සරළව දක්වන්නේ නම් මානව හිමිකම් සංකල්පය අපේ යැයි සැලකීමට අපේ ජනතාව මැළි වන්නේ එය මානව හිමිකම් යනුවෙන් එනයින්ම අප විසින්ම අත්පත් කර ගත්තක් නොවන නිසාය.

යම් සමාජයක විකාශනය සිදුවන්නේ පියවරෙන් පියවර වශයෙනි. අමෙරිකාව, එංගලන්තය ඇතුළු බටහිර හා යුරෝපා රටවල් සේම ඉන්දියාව ශ‍්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල්ද යම් අවස්ථාවක තමාගේම වූ ස්වායත්ත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම සමාජ විකාශන ක‍්‍රියාවලිය තුල විවිධ මට්ටම් වල පසු වූහ. ශ‍්‍රී ලංකාවේ නම් එවකට පැවතියේ රාජාණ්ඩු ක‍්‍රමයයි. මේ යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි හදුනාගතහැකි ලක්ෂණ ඉතා අල්ප විය. කෙසේ වෙතත් රජවරුන් රජකම් කලේ පෙර සිරිතට අනුව යැයි කියනු ලැබේ. වර්තමානයේ ප‍්‍රචලිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රමවේදය ශ‍්‍රී ලාංකීය සමාජ විකාශනය තුල තිබුණේ එවන් අඩියකය. එකල බටහිර රටවල්ද මීට බොහෝ වෙනස් නොවේ.
කෙසේ වෙතත් කෝට්ටේ රාජධානි සමයේ සිදුවූ යුරෝපා ආක‍්‍රමණ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුල කි‍්‍රයාත්මක වෙමින් පැවති ස්වභාවික සමාජ විකාශනයට බාධා පැමිණි අතර බි‍්‍රතාන්‍යයන් විසින් බලය අත්පත් කර ගැනීමත් සමගම ශ‍්‍රී ලංකාවට ආවේණික ස්වායත්ත සමාජ විකාශන ක‍්‍රියාවලිය ඇණහිටින ලදී. එතැන් සිට අප පාලනය වූයේ ඔවුන්ගේ අගනාකම් හා ඔවුන්ගේ මූලධාර්මික අගයන් මතය. මේ හේතුවෙන් පුරවැසියන්ගේ උගත්කම සහ අවබෝධය වර්ධනය වන්නාහාම සමාජ විකාශනයේ යම් අදියරකදී අනිවාර්යයෙන් සිදුවන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අයිතිවාසිකම් උදෙසා වන අරගලයක් ලංකාවේ ඇතිවූයේ නැත. ඇතිවූ අරගල හා කැරළි සියල්ලම පාහේ ජාතිකත්වය මත පදනම් වූවා විනා, එනම් අපේ රජෙක් ඉල්ලා සිටියා විනා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අරමුණු කරගත් ජනතා විමුක්ති අරගලයන් බවට පත් නොවීය. මෙම අරගල වලදී කැරළිකරුවන් සටන් වැදුණේ තමාගේ අයිතිවාසිකම් උදෙසා නොව, දැනට පරදේශක්කාරයන් භුක්ති විදින රාජ වරප‍්‍රසාද තමන්ගේ එකෙකුට මාරු කර ගැනීමේ චේතනාවෙනි. පසුකාලීනව සර්වජන චන්ද අයිතිය වැනි ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උදෙසා යම් යම් අරගල දියත් වුවද ඒවායේ මුඛ්‍ය අරමුණ වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා ජාතිකත්වයයි. එබැවින් ශ‍්‍රී ලංකාව ඉංග‍්‍රීසීන් යටත් කරගත් 1815 සිට යලි නිදහස ලබා ගත් 1948 දක්වා වන වසර 133ක කාලය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් උදෙසා වන අරගලය ලොප් කර ජාතික නිදහස සදහා වන අරගලයක් වෙත දිශානගත කර තැබූ වකවානුවක් ලෙස සැලකිය හැකිය.

කෙසේ වෙතත් මෙම වසර 133ක කාල සීමාව තුලදී අනෙකුත් නිදහස් රටවල් සමාජ විකාශන ක‍්‍රියාවලිය තුල බොහෝ දුර ගමන් කිරීමට සමත් විය. ප‍්‍රංශ විප්ලවය ඇතිවිය. රාජාණ්ඩු අභියෝගයට ලක්විය. ජනරජයන් වෙත පවත්නා ලෝක පිලිගැනීම වර්ධනය විය. වහල්භාවය තහනමට ලක්විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන මානව හිමිකම් වලට ගරු කරන සංස්කෘතියක් ඇතිවිය. මේ වෙනස් කම් ඉබේ සිදුවූ ඒවා නොව ඒ ඒ රටවල් අරගලයන් මගින් දිනා ගන්නා ලද අයිතිවාසිකම්ය. මේවා වෙනුවෙන් එම රටවල් වල පිළිගැනීමක් ඇතිකිරීම සදහා ලේ හැලීමට පමණක් නොව ජීවිත පූජා කිරීමටද සිදුවී තිබුණි. කෙසේ වෙතත් අප රටේ භාරකාරීත්වය දැරූ බි‍්‍රතාන්‍යය තුලද බි‍්‍රිතාන්‍ය ජනයා අරගලයන් මගින් මෙම අයිතීන් දිනා ගනිද්දී එහි යටත් විජිතයක් වූ අප අදාළ අරගලයට සහභාගි නොවී එම වරප‍්‍රසාද වලට හිමිකම් කියන තත්වයට පත්විය. එබැවින් අපට නිදහස ලැබුණේ අප විසින් ස්වායත්තව වර්ධනය කරගන්නා ලද සමාජ දේශපාලනික අගනාකම් සමග නොව වෙනකෙකු විසින් වෙනත් කොහේදෝ තැනකදී ජීවිත පූජාවෙන් අත් කරගන්නා ලද අගනාකම් ඉබේම උරුම කරගෙනය.

එබැවින් ඉහත වසර 133 තුලදී අප රට සමාජ ආර්ථික දේශපාලන සාධාරණත්වය උදෙසා වන අරගලය තුල නොසිට එම අරගලයන්හි ප‍්‍රතිලාභ භුක්ති විදින ගන්ධබ්බ තත්වයට පත්විය. එබැවින් මෙම වසර 133 දී ස්වභාවිකව වර්ධනය වීමට තිබූ අවස්ථාව අසාධාරණ ලෙස අහිමිකරලීම නිසා අප සමාජීය වශයෙන් යම්කිසි මන්දබුද්ධික භාවයකින් පෙළෙමු. මන්ද අප වෙනුවෙන් වරප‍්‍රසාද වෙනුවෙන් සටන් වැදුුණේද, ජීවිත පරිත්‍යාග කලේද අප නොව යම් ආකාරකින් අපගේ වෛරී ප‍්‍රතිචාර වලට බදුන් වූ වෙනත්ම පිරිසකි. එබැවින් ඔවුන් දිනාගෙන අපිට ප‍්‍රදානය කළ අගනාකම් එක්වරම අප සමාජය තුලට අවශෝෂණය කර ගැනීමට බහුතරය මැළි වේ.

මේ සම්බන්දයෙන් බොහෝ දෙනා දක්වන අදහසක් වන්නේ එදා පෘතුගීසීන් ලංකාවට පැමිණි දින සිටි තත්වයෙන් අප පටන් ගත යුතු බවයි. මේ පදනම මත සිටිමින් රාජාණ්ඩුවක් යෝජනා කිරීමටද ඇතැමුන් නිර්භීත වී ඇත. නමුත් කළ යුතු වන්නේ නැවත අතීතයට යාම නොව යටත් විජිත සමයේදී ශ‍්‍රී ලාංකීය සමාජ සංවර්ධන ක‍්‍රියාවලියේ රික්තයක් ඇති වූ බව අවබෝ්ධ කරගෙන එම සමය තුලදී අප පසුකර ලෝකය කොතරම් දුර ගොස් ඇතිද යන කාරණය දෙස විමර්ශනාත්මකව බලමින් එම අගනාකම් අවබෝධයෙන් යුතුව සමාජයට අවශෝෂණය කර ගැනීමයි.

පෘතුගීසීන් ලංකාවට නාවානම් අපි තාමත් රජකරනවා විය හැකි බව ඇතමෙක් කියති. කෙසේ වෙතත් එවන් නිගමනයකට එළඹිය නොහැක. යම් හෙයකින් බටහිර ආක‍්‍රමණ නොආවා නම් ශ‍්‍රී ලංකාව සමාජ සංවර්ධන ක‍්‍රියාවලිය තුල ස්වායත්ත ඉදිරි ගමනක නිරත වනු ඇති අතර එම ගමන තුල යම් කිසි හැරවුම් ලක්ෂ්‍යයකදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් අපේම වූ අරගල මගින් අපි අත්පත් කරගනු ඇත. මේ තත්වයන් යටතේ තවමත් අපි රජ කිරීමට යම් ප‍්‍රවණතාවයක් පැවතියද එම රාජාණ්ඩුව බොහෝ විට එංගලන්තයේ මෙන් ප‍්‍රජාතන්ත‍්‍රීය රාමුවට පිටින් පවත්නා හුදු සන්දර්භයක් පමණක්ම වනු ඇත.

එබැවින් මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි කාරණා අපිට නොගැලපෙන බවට තර්ක කරන්නන් අවබෝධ කරගතයුතු සත්‍යය වන්නේ අපට එසේ හැගෙන්නේ සමාජ සංවර්ධන ක‍්‍රියාවලියේ ඇතිවූ රික්තයක් හේතුවෙන් අප සමාජයට අහිමිවූ යම්කිසි සමාජ හැරවුම් ලක්ෂ්‍යයක් නිසා අප ගොදුරු වී ඇති සමාජ මන්දබුද්ධික භාවය එයට හේතුව බව පමණි.

 
1 Comment

Posted by on October 3, 2011 in Uncategorized