RSS

තොප්පිකාරයාගේ සටහනට ආරාධනා


තොප්පිය කියන්නෙ එක අතකට මනුස්සයාට නැතුවම බැරි වස්තුවක්. අවුවෙන් වැස්සෙන් බේරෙන්න ගල් යුගයේදි ගස්වල කොළ පොතු ඉහට තියලා තදකරගත්තු මිනිහා පස්සෙ ඒකට සෞන්දර්යාත්මක අලංකාරයකුත් එකතු කළා. අද තියෙන විදියට තොප්පිය කියන එක අවුවෙන් වැස්සෙන් බේරෙන්න තියෙන ආම්පන්නයක් බව අමතක වෙන තරමට ඒකට නොයෙක් විච්චූර්ණ විලාසිතා එකතුවෙලා.

තොප්පිය විකාශනය වුණ හැටි හොයා බලන එකත් එක්තරා විදියක රසවත් කටයුත්තක්. මුලින්ම තොප්පියක් ගැන සාක්ෂි හමුවෙන්නේ තීබසයේ සොහොනක චිත‍්‍රයකින්. රෝමයේ සහ ග‍්‍රීසියේත් නිදහස් කළ වහලුන්ට නිදහසේ සංකේතයක් විදියට පිරිනමලා තියෙන්නෙත් තොප්පියක්. ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙදිත් පිට පිට කඩුලු 3ක් දවාගත්තාම තෑග්ගට දුන්නෙත් තොපපියක්. ඒ නිසා දැන් තොප්පියක් තෑගි නොදුන්නත් අපි තාමත් ඒකට හැටි‍්‍රක් කියනවා. 16 වැනි සියවස අගභාගයේදි කාන්තාවනුත් ඇදුම් ආයිත්තම් වල කොටසක් විදියට තොප්පි පළදින්න පටන්ගෙන තියෙනවා. 18 වැනි සියවස වෙනකොට ඉතා උසස් තත්වයේ මිළ අධික තොප්පි නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් දියුණුවට පත්වෙලා තියෙනවා.

ඒ කිව්වෙ සුද්දන්ගෙ තොප්පි ගැන. ඇයි අපි තොප්පි දාලදාලම නැද්ද. අපිත් දාලා තියෙනවා. අපේ රජවරු හිසේ පැළදපු ඔටුන්න එක්තරා විදියක තොප්පියක්. මං පුංචිකාලේ මගේ කිරි අත්තා උදේට වත්තේ ඇවිදින්න යනකොට සාලුවකින් ලොකු ජටාවක් බැන්දා. ඒකත් තොප්පියක්. උඩරට නිළමේ ඇදුම ඇදලාත් තොප්පියක් පළදිනවා. ඉතිං තොප්පිය අපිටත් අමුතු නෑ. සුද්දන් තොප්පි තියා නූල් පොටක්වත් නැතුව හිටපු කාලෙත් අපි තොප්පි දාගෙන ඉදලා තියෙනවා.

මුලින්ම තොප්පිය පාවිච්චියට ආවෙ අව්වට වැස්සට ආවරණයක් විදියටනෙ. ඉතිං අවශ්‍යතාවය මත වැඩිපුර තොප්පි දැම්මෙ එළිමහනෙ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන අය, ක‍්‍රීඩකයො වගේ කට්ටිය. ඒත් පස්සෙ පස්සෙ විලාසිතාවක් බවට පත්වීමත් එක්ක තොප්පිය කියන්නෙ ගේ ඇතුලටත් පලදින ආභරණයක් බවට පත්වුණා. ඒබ‍්‍රහම් ලින්කන්ගෙ උස තොප්පිය, ෂර්ලොක් හෝම්ස්ගෙ ඉබ්බෙක් වගේ තොප්පිය, වින්ස්ටන් චර්චිල්ගෙ තැලිච්ච තොප්පිය විතරක් නෙවෙයි ජවහල්ලාර් නේරුගෙ තොප්පියත් ඒ අයගෙ ඇදුමෙ අනන්‍යතාවයෙ ලක්ෂණයක් වුණා.

ඇමරිකාව, එංගලන්තය කියන්නෙ සීත රටවල්. සමහර කාල වලට අව්ව ඇත්තෙම නෑ. ඒත් ලංකාව සමකාසන්න රටක් විදියට තුන්සිය හැටපස් දවස පුරාම මදි නොකියන්න අවුව ලැබෙනවා. ඒත් සීත රටවල මිනිස්සු තොප්පි දාන තරම් අපි තොප්පි දාන්නෙ නෑ. හැබෑට ඒ මොකද. මග තොටට බැහැලා බලන්න. කීයෙන් කී දෙනෙක් ගිනි කාස්ටක අව්වෙ තමන්ගෙ අත් ඔලුවට උඩින් අල්ලගෙන දාඩිය පෙර පෙරා යනවා එනවද. ඒත් වැඩි දෙනෙක් තොප්පිය තමන්ගෙ ඇදුමෙ කොටසක් කරගන්න හිතුවෙ නෑ. ඒකට හේතුව හොයන්න උත්සාහ කලත් වැඩක් වුණේ් නෑ. මගෙ කටකාර යාලුවෙක් කිව්ව විදියට තොප්පිය දාගෙන ගියාම මෝඩ පාටලු. ගිනි කාස්ටකෙන් මොලේ රත් වෙනකොට එයාගෙ බැටරි චාජ වෙනවා ඇති සමහරවිට. තව කෙනෙක් කිව්වා තොප්පියක් දාගෙන පාරෙ යනකොට නළුවෙක් හරි ගායකයෙක් හරි කියලා මිනිස්සු හැරි හැරී බලනවලු. ඒක එයාට අපහසුවක්ලු.

තව මෙකී නොකී අපූරු උත්තර ගොඩක් ලැබුණා. කොහොම වුණත් අන්තිමට වුණේ ලංකාවෙ මිනිස්සු තොප්පි නොදාන්න හේතුව හෙවිල්ල පැත්තකට දාලා මං තොප්පි දාන්න ගත්තු එක. ප‍්‍රතිඵල ඇස් පනාපිට පේන්න වුණා. ගෙන්දගම් පොළවෙ ගතකරපු අවුරුදු 6ක කාලයේ වැඩි හරියක් මාත් එක්ක හිටපු ඔලුව කැක්කුම සතියෙන් මාව දාලා ගියා. නළල අයිනෙන් හීනි වේගෙන ආපු කොණ්ඩෙ ආයෙත් තට්ටෙ වහගෙන නැගිටින්න පටන්ගත්තා. ගමනක් ගිහින් ආපුවාම දැනෙන මහා මහන්සියෙන් බාගයක් අඩුවෙන් මට දැනෙන්න ගත්තා. තොප්පියෙ රග.

සරසවි ශිෂ්‍යයෙක් කාලෙ තිබුණ විසේකාර අදහස් ‘විසම්මුතික විද්‍යාර්ථියෙකුගේ සටහනෙන්’ මම ඔයාලත් එක්ක බෙදාගත්ත. ඒ සමහර අදහස් සැර වැඩි බවත් උපේක්ෂාවෙන් ජීවිතේ දකින්න නොමේරූ කොල්ලෙක් විදියට මට එදා තිබුණ නොහැකියාව ඒවායෙන් පෙනෙන බවත් මට දැන් ටික ටික තේරෙනවා. ඉතිං ආයිත් ඉස්පාසුවක් ලැබුණ වෙලාවෙ බ්ලොග්කරණය පරණ අඩවියෙන් අරඹන එක හරි මදි කියලා මට හිතුණා. ඉතින් මෙන්න ඒ වෙනුවට ‘තොප්පිකාරයාගේ සටහන’.

තොප්පි කාරයා කියන්නෙත් එක්තරා විදියක විසම්මුතිකයෙක් තමයි. රුපියල් එකසිය අසූවක් දීලා තොප්පියක් අරන් අව්වෙ පින්නෙ පීඩාවෙන් බේරෙන්න හොදටම පුළුවන්කම තියෙද්දි ගොඩක් අය පීඩාව ඉවසගෙන පාඩුවෙ යනවා. ඒත් තොප්පිකාරයා ඉතා පහසුවෙන් තමන්ගෙ පීඩාව හදුනගෙන ඊට සුදුසු විසදුමක් යොදාගෙන තියෙනවා. මේ සමාජයෙ ගොඩක් ප‍්‍රශ්න වලට විසදුම දැක දැක අතින් වහගෙන යන්න අපේ අය පුරුදු වෙලා තියෙනවා. ඉතිං එහෙම අයට තොප්පියක් මිළට ගන්න වැය වෙන්නෙ රුපියල් එකසිය අසූවක් විතරක් බව මතක් කරලා දෙන්නයි තොප්පිකාරයාගෙ මේ වෑයම.

ඕං එහෙනං නමෝ විත්තියෙං…………………………………….
http://thoppikaraya.wordpress.com/

Advertisements
 
Leave a comment

Posted by on December 9, 2012 in Uncategorized

 

මානව හිමිකම් නාමයෙන්කාදිනල්ට එරෙහිව ආණ්ඩුවේ පැත්ත ගැනීම


වහල් මෙහෙය නිත්‍යානුකූලව තිබූ අවධියේදී වහලා සැලකුණේ මනුෂ්‍යයකු ලෙස නොව වහල් හිමියාගේ දේපළක් ලෙසය. තමාට අයත් වහලාගේ හෝ වහලියගේ ශරීරය කැමැති ආකාරයට පාවිච්චි කිරීමට හෝ අපයෝජනය කිරීමට වහල් හිමියාට පරම අයිතිවාසිකමක් පැවතුණු අතර එයට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි විය.

සියලූ මනුෂ්‍යයන් සමාන අයිතිවාසිකම් ඇති විෂයයන් වශයෙන් පිළිගැනීමත් සමඟම වහල් මෙහෙයට අභියෝග එල්ල විය. වහල් මෙහෙය නීති විරෝධී වීමත් සමඟම තම ශරීරය පිළිබඳ අවසාන වශයෙන් තීරණය කිරීම මනුෂ්‍යයකු සතු අයිතිවාසිකමක් බව පිළිගැනුණි.

විශ්ව සම්මතව පිළිගනු ලබන සහ ලෝකයේ සෑම රාජ්‍යයක් විසින්ම පාහේ එකඟ ව අත්සන් කර ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් මඟින් එම අයිතිවාසිකම තහවුරු කෙරුණි. ස්ත‍්‍රියක් ද මනුෂ්‍යයකු බැවින් සියලූ මනුෂ්‍යයන්ට හිමිවිය යුතු එම අයිතිවාසිකම ස්ත‍්‍රියටද හිමිවිය යුතුය. ඒ අනුව තම කුස තුළ රෝපණය වූ කලලය පැවැත්විය යුතුද හෝ නැතිනම් නැවැත්විය යුතුද යන්න තීරණය කිරීමේ අයිතියද ස්ත‍්‍රියට තිබිය යුත්තේ එය ඇයගේ ශරීරය පිළිබඳ අයිතිවාසිකමක් බැවිනි.

එහෙත් බොහෝ රටවල වර්තමානය දක්වා පැවැතෙන සමහර නීති එකී මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන් සමඟ ගැටුමක් ඇතිවේ. එවැනි අවස්ථාවල පිළිගත් සම්ප‍්‍රදාය සහ ජාත්‍යන්තර නීතිය මගින් අනු දැන ඇති ක‍්‍රමවේදය වන්නේ සාර්වත‍්‍රික මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන්ට අනුකූල වන ලෙස යල් පැන ගිය සහ ගර්හිත දේශීය නීති සංශෝධනය කොට යාවත්කාලීන කිරීමයි.

ගබ්සාව හෙවත් ස්ත‍්‍රියකගේ ගර්භයෙහි රෝපණය වූ කලලයක් ඉවත් කිරීම ලංකාවේ ක‍්‍රියාත්මක වන අපරාධ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. මනුෂ්‍යයකු වශයෙන් ස්ත‍්‍රියට තම ශරීරය සඳහා ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා ඇයගේ ප‍්‍රජනක සහ ලිංගික සෞඛ්‍ය ප‍්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුය. ඒ සඳහා උපත් පාලන ක‍්‍රම පිළිබද අවබෝධය වර්ධනය කිරීම, ගුණාත්මක වශයෙන් ඉහළ උපත් පාලන උපකරණ පහසු මිලට සුලබව ලබා ගැනීමට අවකාශ සැලසීම මෙන්ම උපත් පාලනය මගින් උපතක් වළක්වා ගැනීමට නොහැකිවූ අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිතව ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ගබ්සාව අපරාධහරණය කිරීමද අවශ්‍යය.

ආණ්ඩුව එතරම් දුර නොගියද සීමිත අවස්ථාවන්හිදී වත් ගබ්සාව නීතිගත කිරීම සඳහා දණ්ඩ නීති සංග‍්‍රහයට සංශෝධන ගෙන ඒමට කටයුතු කරමින් සිටී. අපි ආණ්ඩුවේ එම පියවර අගය කරමු.

ලංකාවේ කතෝලික සභාවේ ප‍්‍රධානියා වන කොළඹ අගරදගුරු තැන්පත් කාදිනල් මැල්කම් රංජිත් මෙම සංශෝධනය අකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කොට ඇත. මෙම වෑයම පිටුපස සිටින්නේ බටහිර ගැති ජාත්‍යන්තර සංවිධාන බවත්, ඔවුන්ගේ වෑයම ක‍්‍රමානුකූලව මෙම සංශෝධන රිංගවා පසුව ගබ්සාව සම්පූර්ණයෙන්ම නීතිගත කිරීම බවත් මැල්කම් රංජිත් කාදිනල් වරයා කියා ඇත. ඔහුට අනුව නූපන් දරුවාගේ අයිතිවාසිකම රැකීමට සහ හඬක් නැති නූපන් දරුවන් වෙනුවෙන් හඩ නැගීමට ඔහු ඉදිරිපත් වී ඇත.

කාදිනල් වරයාට තම මතය දැරීමට අයිතිය අපි පිළිගනිමු. එමෙන්ම සමාජයේ පවතින පසුගාමී අදහස් සහ අගතීන් වලට එරෙහිව මානව අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන යන සටනේ එක් පියවරක් ලෙස කාදිනල්වරයාගේ එම ස්ථාවරයට එරෙහිව ආණ්ඩුවේ සංශෝධනවලට සහාය පළ කිරීමට අපි නොපැකිලව ඉදිරියට එමු.

ලංකාවේ අපරාධ සම්බන්ධ හරයාත්මක නීතිය වන දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 වැනි වගන්තිය මගින් දක්වා ඇති ආකාරයට යම් දරුවකු බිහි කරන්නාවූ ස්ත‍්‍රියගේ ජීවිතයට සිදුවන හානියක් නිසා නොවන අන් කිසිදු අවස්ථාවකදී ගබ්සාවක් නීත්‍යානුකූල නොවේ. මෙහිදී අදාළ දරුවා බිහිකරනු ලැබීමේදී ස්ත‍්‍රියට ඇතිවිය හැකි සෞඛ්‍යමය අගතිදායක තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව පැහැදිළිය. කෙසේ වුවත් යම් දරුවකු බිහිකිරීම මගින් ස්ත‍්‍රියකට හානිදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ පවතින්නේ සෞඛ්‍යමය සන්දර්භයක් තුළ පමණක්ද යන ගැටළුව මෙහිදී උද්ගත වේ.

යම් ස්ත‍්‍රියක් දූෂණයට ලක්වීමෙන් පසුව පිළිසිදගන්නා කලලයක් ඉවත් කරන්නේද, අනේකවිධ සමාජ අපවාද හා දුෂ්කරතා මධ්‍යයේ දරුවා හදා වඩා ගන්නේද යන තීරණය ගැනීමේ අයිතිය අදාළ ස්ත‍්‍රියට නොමැති වීම නිසා මෙම ගැටළු සහගත තත්ත්වය ඇතිවී තිබේ. එබැවින් මෙම තත්ත්වය යම්තාක් දුරකට හෝ සමනය කිරීම සදහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබ`ද අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ගෙන ඒමට සැරසෙන ගබ්සාව සම්බන්ධ නව නීති හරහා මේ සම්බන්ධ ප‍්‍රධාන කාරණා 03 ක් ආමන්ත‍්‍රණය කෙරේ.

· සමීපතම ලේ ඥාතියෙකු මගින් පිළිසිද ගැනීමක් සිදුවූ අවස්ථාවලදී
· අවුරුදු 18 ට අඩු දැරියක් දූෂණයට ලක්ව පිළිසිද ගැනීමක් සිදුවූ අවස්ථාවලදී
· ජාන විකෘතිතා හේතුවෙන් ආබාධිත දරුවකු පිළිසි`දගත් අවස්ථාවලදී

මෙම කාරණා සළකා බැලීමේදී යම් ආකාරයකින් ස්ත‍්‍රියට තමා දරුවා දරා සිටීම පිළිබද තීරණයක් ගැනීමට ලබා දෙනු ලබන සීමාවේ යම් කොන්දේසි සහිත පුළුල් කිරීමක් ඇති කිරීමට උත්සාහ දරා ඇති බව පෙනේ. ලේ ඥාතියෙකු සමග ඇතිවන ලිංගික සම්බන්ධයකින් ඇතිවන දරුවන් බොහෝවිට ආවේණික ප‍්‍රවේණිගත සෞඛ්‍ය දුබලතාවලින් පෙළීමට ඉඩ ඇති බැවින් එම ලිහිල් කිරීම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් සහිතව කළ එකක් වන අතර පසුකාලීන අනිටු ප‍්‍රතිවිපාක රැුසක් වළකන්නක් ද වනු ඇත.

ස්ත‍්‍රී දූෂණය දණ්ඩ නීති සංග‍්‍රහයේ 364 වගන්තිය යටතේ වරදක් ලෙස දක්වා එයට ද`ඩුවම් නියම කරනු ලැබුවද ස්ත‍්‍රී දූෂණයේ වින්දිතයා ප‍්‍රතෂ්ඨාපනය කිරීම සම්බන්ධයෙන් පැවැති ප‍්‍රතිපාදන කිසිසේත් ප‍්‍රමාණවත් නොවීය. දූෂණයට ලක්වන කාන්තාවට ඒ සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක කරනු ලැබීමෙන් පසු පවා ඇය දූෂණයට ලක්වීමට පෙර පැවැති ජීවන තත්ත්වය අත්පත් කර ගැනීමට අප සමාජයේ කිසිදු ඉඩක් නොමැත. දූෂණයෙන් පසුව ගැබ් ගැනීමක්ද ඇතිවූ විට තත්ත්වය තවත් සංකීර්ණ වේ. එවන් අවස්ථාවක නීතියට පිටින් නොගොස් කටයුතු කරන්නට තීරණය කරන්නේ නම් අනේකවිධ අපහසුතා මධ්‍යයේ තමන් නොකළ වරදකට, බොහෝවිට කාගේදැයි හරිහැටි නොදන්නා දරුවකුද කරපින්නාගෙන ජීවිත කාලයම දුකසේ ජීවත්වීමට සිදුවනු ඇත. ඉදින් ප‍්‍රායෝගික තත්ත්වය තුළ එවන් අවස්ථාවලදී බොහෝවිට සිදුවන්නේ නීතියට පිටින් ගොස් ගබ්සාවක් හරහා හෝ ගෞරවය රැකගැනීමට අදාළ වින්දිතයන් පෙළඹීමය. එවිට නිසි ප‍්‍රමිතියකින් තොරව, සුදුසුකම් ලත් වෛද්‍යාධාර නොමැති පරිසරයක් තුළ හොර රහසේ අදාළ සේවාව ලබා ගැනීමට උත්සාහ දැරීම නිසා අදාළ ස්ත‍්‍රියගේ ජීවිතයට හානි සිදුවීමේ අවස්ථාවද වැඩිය. මෙම නව සංශෝධනය හරහා වයස අවුරුදු 18 ට අඩු දැරියන් දූෂණයට ලක්වීම තුළිින් පිළිසිද ගනු ලබන කලලයන් ගබ්සා කරනු ලැබීම නීත්‍යානුකූල කිරීම තුළින් ඉහත ගැටළුවට යම්තාක් දුරකට විසදුමක් ලැබුණද එය ප‍්‍රමාණවත් බවක් නොපෙනේ. දරුවකු බිහිකිරීමට සුදුසු අවම වයස ලෙස වයස 18 වෛද්‍යවරුන් නිර්දේශ කළද වයස 18 සපිරුණා කියා දූෂණයෙන් පිළිසි`දි දරුවකු හේතුවෙන් මවකට මුහුණදීමට සිදුවන දුෂ්කරතා හා සමාජ ගැටළුවල අඩුවක් සිදු නොවේ. තමාගේ අකමැත්තෙන් තමාගේ සිරුර තුළ රෝපණය කැරුණු කලලය ඉවතට ඇද දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ස්ත‍්‍රියකට අයිතියක් පැවතිය යුතුය යන ස්ත‍්‍රීවාදී තර්කය එවන් පදනමක් තුළ සාධාරණීකරණය කළ හැකිය.

ආබාධිත දරුවන් සම්බන්ධ තත්ත්වය බොහෝ අවස්ථාවල විවාදයට භාජනය වී ඇත. ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ උසස් නිලතල, තානාන්තරවලට පත්වූ අවස්ථාවන් පිළිබදව උදාහරණ පවත්නා බැවින් ආබාධිත කලලයන් ගබ්සා කිරීමට එරෙහිව බොහෝ දෙනා ගෙන එන තර්කයන්ට යම් සාධාරණ පදනමක් ලැබේ. කෙසේ වුවද තමාගේ ජීවන අභියෝග සමග තනිව ගැටීමේ හැකියාවක් නොමැති ආබාධ වලින් පෙළෙන්නන් කලල අවධියේදීම හ`දුනාගෙන එම කලල ඉවත් කිරීම තුළින් එම ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන් මෙන්ම, එම දරුවන්ද තම ජීවිත කාලය තුළ මුහුණ දෙන අනේකවිධ දුෂ්කරතා මගහැරී යනු ඇත.

එබැවින් මෙම නීතිය ගෙන ඒම තුළින් බලාපොරොත්තු වන්නේ අසරණ තත්ත්වයට පත්වූවන්ට යම්කිසි ආකාරයක සහනයක් සැළසීමට බව පැහැදිළිය. අනාරක්ෂිත වෛද්‍ය පහසුකම් මධ්‍යයේ ජීවිතය පවා අවදානමකට ලක් කරගනිමින් ගෞරවය වෙනුවෙන් ලොවට හොරෙන් කළු කඬේ මිලට ගබ්සා සිදුකරගන්නා සංස්කෘතිය මේ හරහා වෙනස් කිරීමට හැකියාව ලැබේ. එවිට අනිසි ගබ්සාකරණය හරහා ඇතිවන අතුරු ආබාධ සම්බන්ධ බියද මගහැරී යනු ඇත. මේ සම්බන්ධව පෙර පැවැති නීතියේ අරමුණ වූයේද ස්ත‍්‍රියගේ ජීවිතය ආරක්ෂා කිරීමය. එමෙන්ම මෙම නීතිය මගින්ද තමා නොකළ වරදකට ජීවිතය පුරා වන්දි ගෙවීමට ස්ත‍්‍රියකට සිදුවන අවාසනාවන්ත තත්ත්වය වැළැක්වීම මගින් යම් ආකාරයකට ස්ත‍්‍රියගේ ජීවිතය ආරක්ෂා කිරීමක්ද සිදුවන බවට තර්ක කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස ඉදිරිපත් වූ සැණින් විරෝධය දක්වන බොහෝ දෙනා මරණීය ලෙස ආබාධිත වූ හෝ අවජාතක හෝ දරුවකු සමග ලොවට මුහුණදීමට කාන්තාවකට පවත්නා දුෂ්කරතාවය අමතක කරති. එවන් දරුවන් බිහිවූ පසු ඔවුන්ගේ සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ගයක්ද යෝජනා නොකරති. දරුවන් මහමග දමායාම, ගංගා, ඇළදොළ, ළිං-පොකුණු වලට දැමීම වැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එබැවින් මේ සම්බන්ධයෙන් සාම්ප‍්‍රදායික දෘෂ්ටියෙන් මදක් බැහැර වී නම්‍යශීලී චින්තනයක් ඇතිකරගැනීම සමාජ ප‍්‍රශ්න ගණනාවක් නිරාකරණය කැරළීමෙහිලා මහෝපකාරී වනු ඇත.

ගබ්සා නීතිය ලිහිල් කරන්න කතා කරන්නේ බටහිර ගැත්තන්
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

ඉදිරියේදී සිදුකිරීමට යෝජනා කර තිබෙන ගබ්සා නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් කතෝලික රදගුරු සංගමය 2012.03.30 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් තම ස්ථාවරය පැහැදිලි කළ අතර මෙය ක‍්‍රියාත්මක කිරීම වහා අත්හිටුවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කරන ලදී. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් ගබ්සා නීති ලිහිල් කිරීම ස`දහා හ`දුන්වා දෙන්නට බලාපොරොත්තු වන සංශෝධනයන් පිළිබදව කතෝලික පල්ලිය දැඩි විරෝධය පළ කරන බවයි. සෑම ජීවිතයක්ම දෙවියන් දුන් දායාදයක් වන බවත්, ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීම සියලූ ආගමික ඉගැන්වීම් වලට පටහැණි වන බවත්, එය ශ‍්‍රී ලංකාවේ සංස්කෘතියට කිසිසේත් නොගැලපෙන්නක් බවත් එතුමා තවදුරටත් ප‍්‍රකාශ කළේය. ජීවිතය ආරම්භ වන්නේ ගැබ් ගත් අවස්ථාවේ සිටම බවත්, තමාව ආරක්ෂා කරගැනීීම සදහා හඩක් නැගීමට අපොහොසත් එම ජීවය ආරක්ෂා කිරීම සියල්ලන්ගේම වගකීම වන බවද එතුමා සදහන් කළේය. බටහිර ගැති ආකල්ප දරන්නාවූ අන්තර්ජාතික සංවිධාන කිහිපයක් විසින් ගබ්සාව වළක්වන නීතිරීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජයට බලපෑම් කරන බව දැක්වූ අගරදගුරුතුමා ගබ්සාව සම්පූර්ණයෙන්ම නීතිගත කිරීම සදහා වන පළමු පියවර මෙය බවද දැක්වීය. ආබාධ සහිත දරුවකුට වුවද ජීවත් වීමට අයිතියක් ඇති බවත්, ඔවුන්ටද සමාජය ලද දායාදයක් සේ වටිනාකමක් ලබාදිය යුතු බවත් සෑම දරුවකු සතුවම සැගවුණු දක්ෂතාවයන් පවත්නා බවත්, ඔවුන් ආබාධිතද නැත්ද යන්න ඔවුන්ගේ දක්ෂතා වලට බලනොපාන බවත් කාදිනල්වරයා තවදුරටත් සදහන් කළේය. ගබ්සාවට ලක්කිරීම හේතුවෙන් අනාගත ව`දභාවය, අඩුබර දරු උපත් වැනි අතුරු ආබාධ ඇතිවීමේ අවධානමක් පවතිනවා සේම අතිවිශාල මානසික විෂාදියක් ඇතිකරලීමටද හේතුවක් වන බව දැක්වූ කාදිනල් වරයා, ඉහත සංශෝධනයේ ගබ්සාවට ඉඩ දිය යුතු අවස්ථා ලෙස දක්වා ඇති දූෂණයට ලක්වීම, ව්‍යභිචාරය යන කරුණු සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළේ කිසිවෙකු කළ වරදකට නූපන් අහිංසක දරුවකුට දඩුවම් දීම අසාධාරණ බවයි.
http://www.dailynews.lk වෙබ් අඩවියට දිස්නා මුදලිගේ ලියූ වාර්තාවක් ඇසුරිනි.

ගබ්සාව පිළිබඳ නම්‍යශීලි සමාජ දෘෂ්ටියක් අවශ්‍යයි
ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද

ගබ්සා නීති ලිහිල් කිරීම පිළිබඳව ඔබේ ස්ථාවරය කුමක්ද?
ගබ්සාව ප‍්‍රධාන ධාරාවේ සමාජ ප‍්‍රශ්නයක් වශයෙන් මා දකිනවා. අප මේ ප‍්‍රශ්නය දෙස බැලිය යුත්තේ මනා ලෙස දැනුවත්වීමෙන් පසුව සංවේදී මුහුණුවරකින්. එබැවින් මේ කාරණය පිළිබඳව වඩා තර්කානුකූලව සිතා බලා විශේෂයෙන්ම ව්‍යභිචාරය හා ගර්භගත ආබාධිත තත්ත්වයන් සම්බන්ධ ගබ්සා නීති ලිහිල් කරන්න සහයෝගය දක්වන්නැයි මා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

ව්‍යභිචාරය හා ගර්භගත ආබාධිත තත්ත්වයන් වශයෙන් ඔබ හදුන්වන්නේ කුමක්ද?
ව්‍යභිචාරය යනුවෙන් අදහස් වෙන්නේ ලේ ඥාතීන් අතර ඇතිවන ලිංගික සබඳතාවයන්. උදාහරණයක් වශයෙන් පියා සහ දියණිය අතර, සහෝදරයා හා සහෝදරිය අතර ඇතිවන ලිංගික සබඳතාවයන් ව්‍යභිචාරය වශයෙන් හඳුන්වනවා. ව්‍යභිචාරයේ ප‍්‍රතිඵලයක් වශයෙන් බිහිවන දරුවෙකු ආබාධිත තත්ත්වයට පත්විය හැකියි. ගර්භගත‘ ආබාධිතතාවය වශයෙන් හඳුන්වන්නේ විවිධ හේතුන් නිසා දරුගැබ තුළදීම ඇතිවිය හැකි විවිධ සංකීර්ණතාවයන්. මෙවැනි දරු උපත් හේතුවෙන් බොහෝ අය පීඩාවට පත්වෙලා තිබෙනවා. එය ආර්ථික හා සමාජ ප‍්‍රශ්න බොහොමයකට මූලාරම්භයක්.

ඔබේ ඉල්ලීමට පාර්ලිමේන්තුවෙන් ලැබුණු ප‍්‍රතිචාරය කුමක්ද?
ඒ සඳහා ලැබුණේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයක්. කෙසේ වුවත් මේ පිළිබඳව විවාදය තවදුරටත් පවතිනවා. මේ පිළිබඳව අධ්‍යනය කරන්න කමිටුවක් පත්කරලා තියෙනවා. අධිකරණ අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයන් පසුගිය සතියේ මේ පිළිබදව සාකච්ඡා පැවැත්වූවා. හැකි ඉක්මනින් සුභදායක එකඟතාවයකට එන්න අපි බලාපොරොත්තු වෙනවා.

ව්‍යභිචාරය හා ගර්භගත ආබාධිතභාවය පිළිබඳව ගබ්සා නීති ලිහිල් කිරීම පමණක් ප‍්‍රමාණවත් යැයි ඔබ සිතනවාද?
ගබ්සාව නීතිගත කළ යුතු නැහැ. නමුත් සමාජ සුබසාධන අරමුණින් යුතුව මෙම නීති වලට යම් යම් සංශෝධන එක්කළ යුතු බව මා සිතනවා.

ගබ්සා සිදුකරගන්නා පිරිසෙන් 80%ක් විවාහක කාන්තාවන් බවයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පිළිතුර- ඔව්. එය ඇත්ත විය හැකියි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව තුළ උපත් පාලන ක‍්‍රමවේද ඉතා ජනප‍්‍රියයි, ඒ වගේම සහන මිලට ලබා ගන්නත් පුළුවන්. පවුල් සැලසුම් පිළිබඳව වගකීම ඇත්තේ සමාජයටමයි. ඔවුන්ගේ පවුල් නිසි පරිදි පාලනය කර ගැනීමට ජනතාව විනයවත් විය යුතුයි.

ලිංගික අතවර වලට ලක්වීම තුළින් කාන්තාවන් ගැබ්ගත් අවස්ථා වාර්තා වෙනවා. ලිංගික අතවර වලින් සිදුවන ගැබ්ගැනීම් සම්බන්ධයෙන් ගබ්සා නීති ලිහිල් කළ යුතු බව ඔබ නොසිතන්නේද?
අපේ අමාත්‍යංශය අතවරයන්ට ලක්වූ කාන්තාවන්ට සාධාරණත්වය ඉටුකිරීමට සහයෝගය දක්වනවා. නමුත් ගබ්සාව නීතිගත කිරීම සමාජයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් විය හැකියි.

මෙම නව නීති සංශෝධනයට අනුමැතිය ලබාගෙන ක‍්‍රියාත්මක කරන්නට ඔබ බලාපොරොත්තු වන්නේ කොපමණ කාලයකින්ද?
එය තවම සාකච්ඡා මට්ටමේ තිබෙන්නෙ. එයට හැකි ඉක්මනින් අනුමැතිය ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා.

සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතට අනුරාධා කෝදාගොඩ විසින් කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.

මුල් ලිපිය සදහා http://www.samabima.info/?p=2231 බලන්න.

 
Leave a comment

Posted by on April 23, 2012 in Uncategorized

 

විඥ්ඥාණවාදය අප හසුකරගෙනද?

විඥ්ඥාණවාදය අප හසුකරගෙනද?

පසුගිය දිනෙක හිතවතෙකුගේ නිවසක අවමගුලකට සහභාගි වූ මට එහි සිටි පැරණි මිතුරු කණ්ඩායමක අල්ලාප සල්ලාපයකට හවුල් වීමට ඉඩ ප‍්‍රස්තාව හිමිවිය. එහිදී පළවූ අදහස් නම් ගම් රහිතව මෙහි දක්වා ඇත. එක් අයෙක් පැවසුවේ මේ දිනවල තමාගේ ගමේ පන්සලේ ජයටම යන්ත‍්‍ර රාජයා ජීවම් කිරීම සිදුකරන බවයි. මාසික බදු පදනම මත පන්සලටද මුදලක් ගෙවමින් ලොකු හාමුදුරුවන් ලවාම එක් යන්ත‍්‍ර රාජයෙකු රු 1800 බැගින් අලෙවි කරවන බවද ඔහු සදහන් කළේය. මෙහිදී තවත් අයෙකු කියා සිටියේ යන්ත‍්‍ර රාජයා ලක්ෂ වාරයක් ජීවම් කරන බව කියනු ලැබුවද ඔවුන් පන්සලට පැමිණ ජීවම් කිරීම ඇරඹූ දිනයත් එක් වරක් ජීවම් කිරීමට ගතවන කාලයත් සළකා බැලූ කල ලක්ෂ වාරයක් ජීවම් කිරීමට ගතවූ කාලය ප‍්‍රමාණවත් නොවන බවයි. මෙහිදී වහාම මැදිහත් වූ පළමුව කී පුද්ගලයා ලක්ෂ වාරයක් ජීවම් කරන්නේ එක් අයෙකු විසින් පමණක් නොව කණ්ඩායමක් විසින් බවත් එවිට සහභාගිවන කටවල් සංඛ්‍යාව එක් අයෙකු ජීවම් කරන වාර ගණනෙන් වැඩිකර ලක්ෂ වාරය සාදාගන්නා බවත් කීය. මේ අසා සිටි තවත් කටකාරයෙකු අසා සිටියේ මිනිසුන් 10ක 15ක කණ්ඩායමක් ඒ වෙනුවෙන් කාලය කනවාට වඩා හොද හයි ෆයි බෆල් 15ක් 20ක් යොදාගෙන ලක්ෂ වාරයක් ජීවම් කළ නොහැකිද යනුවෙනි. සියල්ලෝම එය අසා හඩ නගා සිනාසුන නමුත් එක් අයෙකුට මේ විහිළුව ඇල්ලූවේ නැත. එවැනි දේ වලට මළ ගෙවල් වලදී සිනා සීම අනුචිත බවත්, කිල්ලට අහුවිය හැකි බවත් බැරෑරුම් මුහුණකින් ඔහු ප‍්‍රකාශ කළේය.

මෙවන් කතා බහට ඔබට ඕනෑ තරම් කන්දීමට, සම්බන්ද වීමට අවස්ථාව ලැබී තිබෙනවා වන්නට පුළුවන. කෙසේ වෙතත් මෙවන් අවස්ථා වලදී නිර්භය ලෙස තම ස්ථාවරය ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නෝ ඉතා දුලබ වේ. මෙවන් කාරණා සම්බන්ද යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයන් පවතින්නේද යන කාරණය පිළිබ`දව ඔවුන් තුල පවත්නා දෙගිඩියාව ඊට හේතුවයි. වරක් හොල්මන් පිළිබද චිත‍්‍රපටයක් බලා රාත‍්‍රියේ තම බෝඩිම කරා යාමට ගිය මගේ මිතුරකු විනාඩි 5කින් ආපසු හැරී ආවේ යාමට තිබෙන්නේ බොරැල්ල කනත්ත අසලින් වීම නිසාය. ඔහු වැනි වැඩුණු, පැසුණු වයසය අයෙකු එවැනි දෙයක් කියන්නේ විහිළුවට යයි මා මුළින් සිතුවත් ඔහුව බයිසිකලයෙන් ගෙන ගොස් ඇරලවන්නට උත්සාහ කළ විටද ඔහු එය දැඩි ලෙස ප‍්‍රතික්ශේප කිරීම නිසා ඔහු කරන්නේ විහිළුවක් නොවන බව පැහැදිළි විය.

කෙසේ වෙතත් මෙවන් සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයන් සමාජයේ සිටින බව කියනු ලැබුවද එවන් අය සොයා ගොස් ඒ පිළිබදව විපරම් කොට බැලීමේදී සෑම අවස්ථාවකදීම හෙළිවන්නේ යම් අද්භූත දෙයක් පවතී යන කාරණය සනාථ කිරීමට ඔවුන්ගේ ප‍්‍රකාශ හෝ අත්දැකීම් කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවයි. මෙම කරුණු ආගමික සංකල්පයන් සමග යම්තාක් දුරකට නෑකම් කීම නිසා එවන් දෑ වලට අභියෝග කිරීමට පුද්ගලයන් යම්කිසි මැළිකමක් දක්වනු නිරීක්ෂණය කළ හැකිය.
බෞද්ධ වේවා, හින්දු වේවා, කතෝලික වේවා මුස්ලිම් වේවා මෙකී සෑම ආගමක්ම රදා පවතිනුයේ යම්කිසි මිනිස් විචාර බුද්ධියට ගෝචර නොවන්නාවූ එසේත් නැතහොත් වුවමනාවෙන් ගෝචර කරගත යුතු වන්නාවූ යම්කිසි බලවේගයන් සමූහයක් පවත්නා බව එහි අනුගාමිකයන්ට අවබෝධ කරවීම තුලිනි. එබැවින් ශාස්තෘවරයාට පෙනෙන, අපට නොපෙනෙන දෙයට ගෞරව කිරීමටත් ඉමහත් බියක් දැක්වීමටත් තිඹිරිගෙයි පටන් අප හුරු කරනු ලැබ තිබේ. මෙහිදී අපට නොපෙනෙනා දෙය දකින්නා යම්කිසි අයුරකින් ගුඪ බලයක් හිමි තැනැත්තෙකු වශයෙන් සමාජ ගෞරවයට පාත‍්‍රවනු දැකිය හැකිය. මිනිසාගේ මනෝභාවය හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමේදී එය සෑම විටකදීම අද්භූත රසය බදා වැළද ගැනීමට රුචිකත්වයක් දක්වන බව පෙනේ. එබැවින් මිනිසා තමන්ට නොපෙනෙන අද්භූතත්වයක් පිළිබද විශ්වාස කිරීමට යටි සිතින් ඉතා ආශා කරයි. උඩු සිත අද්භූත රසයට ප‍්‍රතිචාර දක්වන්නේ ඉමහත් භීතියකින් වුවද යටිසිත ඉතා ආදරයෙන් අද්භූත රසය බදා වැළද ගන්නේ රහස් පරීක්ෂක කතාවක් කියනවන විට දැනෙන හැගීමට යම් අයුරකින් සමාන හැගීමකිනි. එපමණක් නොව මිනිසා සැබෑ ජීවිතයේදී සිදු කරන්නාවූ යම් යම් අතපසුවීම්, වැරදි යනාදියේ වගකීම එම නොපෙනෙන අද්භූත බලවේගයන් මත පැටවීම මිනිසාට ඉතා පහසු ගැලවීමක් වශයෙන් සමාජගත වී ඇති බැවින් ඒ පිළිබද අල්ලස්මය ලැදියාවක්ද මිනිස් සිත තුල පවත්නා බව පිළිගැනීමට සිදුවේ.
නමුත් මෙම නොපෙනෙන ලෝකයේ තතු පෙන්වා වරප‍්‍රසාද භුක්ති විදීමේ න්‍යායෙන් ප‍්‍රයෝජන ගනු ලබන්නේ ආගමික නායකයින් පමණක්ම නොවේ. මෙම න්‍යාය මේ අයුරින්ම දේශපාලනය තුලද උපයෝගී වන අයුරු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මෑත කාලීනව ජිනීවා අර්බුදය සම්බන්දයෙන් ඇති සැබෑ තතු මහජනතාවට හෙළිදරව් කිරීම සිදුවූයේ සැළකිය යුතු ගුරු මුෂ්ටියකට යටත්වය. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලක්ම පාහේ රජයේ මෙම ගුරු මුෂ්ටි ප‍්‍රතිපත්තියට අඩු වැඩි වශයෙන් සහාය දැක්වූ අයුරු දක්නට ලැබිණ. උදාහරණයක් ලෙස පහළ මැද පන්තිය පරිශීලනය කරන පුවත්පත් අතරින් යම් අයුරකින් හෝ ස්වාධීන වාර්තාකරණයක් සිදුකරන බවට විශ්වාසය දිනා ඇති ලංකාදීප පුවත්පත පවා ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාව පැහැදිලි ලෙස මහජනතාවට දැන්වූූයේ යෝජනාව පරාජය වීමෙන් පසුව පමණකි. එබැවින් නොදන්නා දෙයට බියට පත්වීමේ සංස්කෘතිය සමග ඉපිද හැදී වැඩුණු ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදීම තුලින් ඔවුන් තමන්ට අවශ්‍ය පරිද්දෙන් නටවා ගැනීමට රජයට අවශ්‍ය සහයෝගය සියළු මාධ්‍ය ආයතන ලබාදී තිබුණි. යම්හෙයකින් ඇමරිකානු යෝජනාවේ කොටස් 3 පැහැදිළි ලෙස ප‍්‍රධාන ධාරාවේ එක් මාධ්‍යයකින් හෝ ප‍්‍රකාශ වී නම් මහ පාරට සෙනග කැදවීම සදහා රජයට බත් පැකැට්ටුවත් අරක්කු බාගයත් කිසිසේත් ප‍්‍රමාණවත් නොවනු ඇත.
එබැවින් සෑම අවස්ථාවකදීම ‘බොස්’ ගේ භූමිකාව සාර්ථක ලෙස රගදැක්වීම සදහා තමාගේ අනුගාමිකයන් නොදන්නා යමක් පවත්වා ගැනීම තුලින් ‘බොස් තමා දන්නෙ’ වැනි සර්වබලධාරී ආස්ථානයක් ජනතාව වෙත ආරෝපණය කරළීමට අතීතයේ පටන් ආගමික පැළැන්තිය හා පාලක පැළැන්තිය දැරූ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ඒ මත ජීවත් වන එයින් වෙන්ව ජීවත් වීමට නොහැකි ප‍්‍රජාවක් බිහිවී ඇත්තේය. වශී ගුරුකම්, හොල්මන් අවතාර වල පටන් ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය දක්වාද එකිනෙකට වෙනස්වූ පසුබිම් යටතේ වරප‍්‍රසාද ලත් පන්තිය පාලිත පන්තිය නැටවීමට යොදාගනු ලබන්නේ එකම න්‍යාය බව සමාජයට අවබෝධ කැර දිය යුතුවේ.
මෙවන් නොපෙනෙන බලවේගයන් දිගින් දිගටම චිරාත් කාලයක් තිස්සේ සමාජගතව පැවැතීම ඒවායේ සත්‍යභාවය හෙළිකරන්නක් ලෙස විදහා දැක්වීමට ඇතැමුන් උත්සාහ කරති. යම් සාවද්‍ය ඇදහිල්ලක් විශ්වාසයක් වසර දහස් ගණනක් තිස්සේ පැවැතීම කිසි සේත් එය සත්‍යාපනය නොකරයි. යමක් සත්‍ය වශයෙන් සමාජගත කිරීම හා එය රදවා ගැනීම පරිශ‍්‍රමයක් දැරීම හරහා සිදුකළ හැකිවේ. එමගින් ජීවත් වන්නන් නොපෙනෙන ලෝකයේ පැවැත්මක් ගැන දිගින් දිගටම දේශනා කරන්නේ නම් කාලයක් එසේ කිරීමේදී ඔවුන් විසින් සමාජගත කරනු ලැබූ න්‍යායන් නැවත වතාවක් පුනරාවර්ථනය වේ. එනම් ඔවුන්ම බිහිකළ සංකල්පමය හඩ ඔවුන්ටම සමාජයෙන් අසන්නට ලැබේ. එවිට යම් මතවාදයක් සමාජයේ මුල් බැස ගත්තා යැයි කියනු ලැබේ. එවිට මෙම මුල් බැසගත් මතය දිගින් දිගට පවත්වා ගැනීම සදහා දැරිය යුතු වන්නේ ඉතා සුළු පරිශ‍්‍රමයකි. සමාජයේ මුල්බැසි ගන්නා ලද මතය මත සිටගෙන එයම පදනම් කැරගනිමින් එයට එල්ලවන අභියෝගයන් සාවද්‍ය බවට තර්ක ඉදිරිපත් කිරීම ඉතා පහසුය. මන්ද එම තර්ක ඉදිරිපත් කරන්නා පදනම් කරගන්නේ ස්වාධීන පසුබිමක් නොව ඉහතකී සාවද්‍ය කාරණයම වීම නිසාය.
මෙම න්‍යාය අභියෝගයට ලක් කරන්නාවූ තවත් අත්දැකීමකින් මෙම සටහන නිමා කරමි. එය තොවිලයකි. කැදවා තිබුණේ ලංකාවේ ප‍්‍රසිද්ධම ගුරුන්නාන්සේ කෙනෙකි. ඔහුගේ වශී බන්ධන පිළිබද පුවත්පත් දැන්වීමක් මීට සතියකට පෙරදීද මම දුටුවෙමි. අප තොවිලය බැලීමට ගියේ හුදු විනෝදය සදහා බැවින් කිල්ලට හසුවන බව කීවද මත්පැන් බිදක් තොලගා බැලීමට කණ්ඩායමේ මිතුරන් අමතක කොට නොතිබුණි. තොවිල්පලට ගිය කල අප මිතුරන් දෙදෙනෙකුට ගෘහපතියා එක්තරා රාජකාරියක් පැවරීය. ගුරුන්නාන්සේ මායම් වී මායමේ බලයෙන් උදළු මිටි දෙකක් මත ගිණි පෙණෙලි රැුගෙන නටන බවත් එවිට උදළු මිටි දෙක කිහිල්ලට සිර කොට ගෙන අල්ලා සිටීමට ශක්තිමත් තරුණයන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය බවත් ගෘහාධිපතියා කීවේය. අප සමග සිටි උස මහතම දෙදෙනා වහා ඉදිරිපත් වූහ. උදළු මිටි දෙක ලැබුණි. රාජකාරියට සූදානම් වී බලා සිටින අතර ඔවුන් දෙදෙනා කසු කුසු ගානු ඇසුනි. ‘‘මචං ගුරා පනිනකොටම මම දකුණු අත ඩිංගක් බුරුල් කරනවා. උඹත් වම් අත ටිකක එළියට වෙන්න අල්ලපං.’’ එකෙක් කීවේය. අනෙකාද එකග විය. අපේ නඩයේ මදක් බයාදු අයෙකු කීවේ ගුරා මායම් වී සිටින කල එවැනි විහිළු කළහොත් යක්ෂාවේශයෙන් බොටුව උරා ලේ බොනු ඇති බවත් එබැවින් විකාර නොකර සිටින ලෙසත්ය. රාජකාරි වේලාව එළඹිණි. මගේ මිතුරන් දෙදෙන උදළු මිටි කිහිළි ගන්නාගෙන තොවිල් භූමියේ කෙළවරක සිටගත්හ. ගරුන්නාන්සේගේ යක්ෂාවේශය උත්සන්න වූ අතර මොකක්දෝ භාෂාවකින් මොනවාදෝ කියමින් කරකැවී කරකැවී පැමිණ කරණමක් ගසා උදළු මිටි මතට පැන්නේය. පනින පමාවෙන් දඩස් ගා බිමට වැටී ගුරාගේ පස්ස බිම ඇනුණි. ගුරා පරළ වී දැන් දැන් බොටුව කඩා ලේ උරනු ඇතැයි අපි බලා සිටියෙමු. යක්ෂාවේෂය කෙසේ වෙතත් ඔහු පරළ වී ඇති බවනම් පෙනුණි. ‘‘කුණුහරප කරන්ඩ හපා හු………….’’ යනුවෙන් ඇරඹි ඔහුගේ කුණුහරුප වැල අවසන් වූයේ පැය භාගයකට පමණ පසුය. බොටුව කඩා ලේ බීම කෙසේ වෙතත් ගුරා දින දෙකක් තොවිල් ගෙදර තබාගෙන ඔහුගේ කොන්දට පිළියම් කරන්නට ගෙහිමියාට සිදුවූ අතර සිද්ධියෙන් වසර 5ක් පමණ ඉකුත් වූ අදත් ඔහු අපේ නඩයේ කිසිවකුගේ මුහුණවත් නොබලයි.

 
Leave a comment

Posted by on March 27, 2012 in Uncategorized

 

‘‘ජිනීවා අභියෝගය’’ දෙවියන් යදිමුද? බෝධි පූජා කරමුද?

‘‘ජිනීවා අභියෝගය’’ දෙවියන් යදිමුද? බෝධි පූජා කරමුද?


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති අභියෝග වලින් ජය ගැනීමට ශක්තිය ධෛර්යය ප‍්‍රාර්ථනා කරමින් බෝධිපූජා, සත්‍යක‍්‍රියා, යාගහෝම, ශාන්තිකර්ම කොතෙකුත් මේ දිනවල දක්නට ලැබේ. මෙහිදී අවිහිංසාව අගයන්නේ යැයි කියන ත‍්‍රිවිධ රත්නයෙන් දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ‍්‍රී ලංකාවේ පැත්ත ගෙන ශ‍්‍රී ලංකාව අපහසුවෙන් මුදවීමට දායක වන ලෙසය. ඒ පිළිබද සත්‍ය අසත්‍යභාවය විඥ්ඥාණවාදය යටතේ වෙනම කතා කළ යුතු කාරණාවකි. එහෙත් ශ‍්‍රී ලංකාවේ පැලපදියම් වී ඇති ආගමික විශ්වාසයන්හි ප‍්‍රධාන මූලය වන අවිහිංසාව සහ අකුසලයෙන් වැලකීම යන ආස්ථානයට මෙම බෝධිපූජා සහ සත්‍යක‍්‍රියාවන් හරහා සිදුකරන ඉල්ලීම් කෙතරම් අදාළ වන්නේද ගැලපෙන්නේද යන් විමසිය යුතුය.

ශ‍්‍රී ලාංකිකයින් බහුතරයක් දෙනා විශ්වාස කරනු ලබන බෞද්ධාගම යටතේ බෝධි පූජා හා සත්‍යක‍්‍රියාවන් සිදුකරනු දක්නට ලැබේ. මේ අනුව පාපය, ඝාතනය සම්බන්දයෙන් බෞද්ධාගමික ඉගැන්වීම පසෙක තබා පාපයේ හා ඝාතනයේ ප‍්‍රතිවිපාකයකින් ගැලවීම සදහා බෞද්ධාගමේම තවත් එක් ඉගැන්වීමක් පසුපස යනු දක්නට ලැබීම හාස්‍යජනක වේ. මා දන්නා බෞද්ධාගමික ඉගැන්වීම් ප‍්‍රකාරව නම් කිසිදු අයුරකින් ඝාතනය සාධාරණීකරණය කළ නොහැකි පාපයක්ම වේ. කිසිදු සත්ත්වයෙකුට තවත් සත්ත්වයෙකුගේ ජීවිතය පැහැර ගැනීම බෞද්ධාගමික ඉගැන්වීම යටතේ සාධාරණීකරණය කළ නොහැක. එසේ කළ හැකියැයි යමෙකු කියන්නේ නම් ඒ පැහැදිළි ලෙසම වංචනික අදහසින් හෝ නොදැනුවත් කම නිසා කරනු ලබන්නකි. එබැවින් සාධාරණත්වය අසාධාරණත්වය කුමක් හෝ වේවා මනුශ්‍ය ඝාතක යුද්ධයකින් ඇතිවූ ප‍්‍රතිවිපාක සදහා පළිහක් ලෙස ඝාතනය පිළිකෙව් කිරීම මූලික සංකල්පයක් කොටගත් ආගමක ඉගැන්වීමක් යොදාගැනීම පරස්පර විරෝධී වේ.

එබැවින් මෙහි තිබෙන්නේ පැහැදිලි ලෙසම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කුහක ලෙස ජනතා ගෞරවයට පාත‍්‍රවූ ආගමික සංකල්පයන් වෛශ්‍යා වෘත්තියේ යෙදවීමකි. තවද මෙම පූජා හා යාගහෝම වලදී ඒවායේ මූලිකත්වය ගන්නා පූජ්‍ය පක්ෂය බොහෝ අවස්ථා වලදී ශ‍්‍රී ලංකාවේ වර්තමාන තත්වය අතිශයෝක්තියෙන් යුතුව ඇගයීම දක්නට ලැබේ. ශ‍්‍රී ලංකාවේ කිසිදු මානව හිමිකම් කඩවීමක් කිසිදා සිදුවී නැති බවද වර්තමානයේද ඉතා සාධාරණ වූ ධාර්මික පාලනයක් ක‍්‍රියාත්මක වන බවද චීවරයට, ලෝගුවට, පච්චවඩමට මුවාවේ මොවුහු දේශනා කරති. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පටන් කහවත්දේ ද්විත්ව ඝාතනය දක්වා මෙම පාලන තන්ත‍්‍රයේ සුජාත භාවයේ තරම අපි ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු. දුෂිතයෙකු නොවන දේශපාලනඥයෙකු සොයාගත නොහැකි තරමට දේශපාලන මඩගොහොරුවේ ගිලී සිටිමු. අති දැවැන්ත මාධ්‍ය මර්දනයකට මුහුණදී සිටිමු. විකල්ප මතවාද අනුකම්පා විරහිතව කඩුගා දමන යුගයක යන්තමින් ඔළුව බේරාගෙන වාසය කරමු. ඉදින් අපේ පූජ්‍ය පක්ෂය දෙයියන්ගේ බුදුන්ගේ මුහුණු බලාගෙන එහෙව් පච ඇදබාන්නේ මෙවන් පව්කාර සමාජය සිට නොවේද. සියල්ල පෙනෙන්නේ යැයි කියන සර්ව බලධාරී දෙවියන් හෝ වේවා කර්මය හෝ වේවා ඉදිරියේ මතු ලෞකික වාසියක් අපේක්ෂාවෙන් සිදුකරන යාගයකදී එවන් දෑ පැවසීම හුදෙක් දෙවියන්ට බොරු කීම හැර අන් කවරක්ද. ඉදින් එවන් තත්වයක් යටතේ ඇත්තටම ඔය කියන දෙවියන් සිටිනවා නම්, නැත්නම් කර්මය යනුවෙන් දෙයක් පවතිනවානම්, එය අපේ සාවද්‍ය යාඥා යාතිකා ආදියට සවන්දී අප කියන අයුරින්ම සියල්ල ඉටු කරනවා නම් ඒ පක්ෂග‍්‍රාහී දෙවි කෙනෙක්-කර්මයක් විය යුතුය. එසේත් නැත්නම් ඒ කර්මය හෝ දෙවියා දොල පිදේනි වලට ලොල්ව එසේ කරනවා වියයුතුය. එවන් තත්වයක් යටතේ සියළු ආගම් වලින් තම සාවද්‍ය ආස්ථානයට සුරක්ෂිතභාවයක් අයදින්නේ නම් ඒ මගින් එම ආගමට හෝ දර්ශනයට ආරෝපණය කැර තිබෙන පාරිශුද්ධත්වය හා සර්වඥභාවය අභියෝගයට ලක්වීම නොවැලැක්විය හැකිය.

එවන් තත්වයක් යටතේ පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යනු සකලවිධ මනුශ්‍ය වර්ගයාගේ සුබසිද්ධිය උදෙසා පවත්නා පාරිශුද්ද දෑ නොව කුමක් හෝ කඩප්පුලි වැඩක් කොට කෙළවාගත් විට දුවගෙන ගොස් දොළ පිදේනි පුදා අපිට වාසි වන ආකාරය තීන්දුව ලබාගත හැකි දුෂිත තන්ත‍්‍රයන් සමූහයක් වශයෙන් සැළකීමට සිදුවේ.

 
Leave a comment

Posted by on March 21, 2012 in Uncategorized

 

උගත් පාඩම් නිර්දේශ මොනවාද? ඇමරිකන් යෝජනාවේ තියෙන්නේ මොනවාද?


උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් ක‍්‍රියාත්මක කැරලීම සඳහා නිශ්චිත වූ කාලසටහනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින ඇමෙරිකානු යෝජනාව සම්බන්දයෙන් ඡන්ද විමසීමට ඇත්තේ තව දිනක් පමණි. මේ සම්බන්දයෙන් විරෝධය පලකරන්නන්ගෙන් සියයට අනූවක් දෙනා ඇමෙරිකානු යෝජනා තබා උගත් පාඩම් නිර්දේශයන්ගේ ඇත්තේ කුමක්ද කියාවත් නොදනිති. එබැවින් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අපි මෙහි පල කරමු. මෙහි සිංහල අනුවාදය ළගදීම බලාපොරොත්තු වන්න.

LLRC Report

ඇමෙරිකානු යෝජනාව තුල ඇති ඉල්ලීම් ප‍්‍රධාන වශයෙන් තෙවැදෑරුම් වේ.
1. උගත් පාඩම් කොමිසම විසින් ඉදිරිපත් කැරුණු නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමත් යුක්තිය, සමානාත්මතාවය, වගවීම සහ ප‍්‍රතිසන්ධානය තහවුරු කිරීමේ අරමුණින් විශ්වාසනීය හා ස්වාධීන වැඩපිළිවෙලක් ඇතිකිරීම ස`දහා ශ‍්‍රී ලංකා රජයේ වගකීම තහවුරු කිරීමත් ස`දහා ගතයුතු අමතර පියවර ගැනීම.
2. උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමටත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්දයෙන් පවත්නා චෝදනා සම්බන්දයෙන් ක‍්‍රියා කිරීමට ආණ්ඩුව මේ දක්වා ගන්නා ලද ක‍්‍රියාමාර්ග සහ ඉදිරියට ගැනීමට බලාපොරොත්තු වන ක‍්‍රියාමාර්ග විස්තර කැරෙන සැළැස්මක් ඉදිරිපත් කිරීම.
3. එම පියවරයන් ක‍්‍රියාත්මක කිරීම ස`දහා අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදීම ස`දහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය උනන්දු කරවීම හා එසේ ලබා දුන් සහාය පිළිබ`ද වාර්තාවක් මානව හිමිකම් සමුළුවේ 22වන සැසිවාරයට ඉදිරිපත් කරන ලෙස මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටීම.
ඒ අනුව ඉහත කරුණු 3 අධ්‍යයනය කරන්නාවූ ඕනෑම සිහිබුද්ධිය ඇති පුද්ගලයෙකුට තේරුම් යා යුතු සත්‍යය නම් පළමු කරුණු දෙක මගින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාවට නැංවීම සම්බන්දයෙනුත් තෙවැනි කරුණ මගින් ඒ ස`දහා ජාත්‍යන්තර ප‍්‍රජාව තුලින් ලබා දිය යුතු උපරිම සහයෝගය ලබාදීම සම්බන්දයෙනුත් අවධානය යොමු කර තිබෙන බවයි.
එබැවින් දෙමළ ඩයස්පෝරාවේ තදබල විරෝධයද, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විරෝධයද නොතකමින් ඇමෙරිකාව ප‍්‍රකාශ කරන්නේ ‘මහින්ද රාජපක්ෂගේ උගත් පාඩම් නිර්දේශ’ ක‍්‍රියාත්මක කළ යුතු බව නොවේද? එවැනි තත්වයක් යටතේ එවැන්නකට වියරු-විසුළු විරෝධතා දැක්වීම තත්වය වඩාත් යහපත් කිරීමට නම් කිසිසේත් හේතු නොවන බව සක්සුදක් සේ පැහැදිළි වේ. එබැවින් මෙය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ශ‍්‍රී ලාංකිකයින් හැගීම් වලට වහල් නොවී සබුද්ධිකව කටයුතු කළ යුතු අවස්ථාවක් බව තේරුම්ගැනීම වැදගත්ය.

 
Leave a comment

Posted by on March 20, 2012 in Uncategorized

 

ජිනීවා ගැන ඇත්ත කියන්න මේ තරම් භය ඇයි?

ජිනීවා ගැන ඇත්ත කියන්න මේ තරම් භය ඇයි?

ජිනීවා යෝජනාවට එරෙහිව වීදි බැස්සවුන්ගේ සැබෑ වුවමනාව කුමක්දැයි මෙයින් මනාව පෙනීයයි. මාතෘභූමිය යනු මහින්ද රාජපක්ෂ නොවන බව මොවුන්ට කවදා පසක් වේවිද?

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කැරුණාවූද සියයට සියයක්ම ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරන රාජ්‍ය තන්ත‍්‍රයක් ලෙස සැළැකිය යුත්තාවූද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව විසින් ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්දයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් නිශ්චිත කාල රාමුවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන බව එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් පැහැදිළි ලෙස දක්වා තිබුණේ 19 වැනි සැසිවාරය ආරම්භ වීමටත් පෙර සිටමය. මේ සම්බන්දයෙන් හීන් “ඤාව්” ගෑමකින් පටන්ගත් ශ‍්‍රී ලංකා රජයේ විරෝධය පසුකාලීනව වියරු බිරුසන්දීමකට පරිවර්තනය වූවා සේම මෙම යෝජනාව සම්බන්දයෙන් රජය ඉදිරිපත් කරනු ලබන නිර්වචනයද කාලයත් සමඟ මහත් විපර්යාසයකට භාජනය වූ බව මෙම සිදුවීම් දෙස පරික්ෂාකාරීව බලන්නෙකුට පෙනීයනු ඇත.

අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන්නේ ‘ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්’ යන මතය සමාජගත කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන සැදී පැහැදී සිටීම මෙම යෝජනාව සම්බන්ද අදහස මුලින්ම ඉදිරිපත් වූ සමයෙහි සිටම දක්නට ලැබුණි. සත්‍යය පමණක් ඉදිරිපත් කරන බව කියන්නාවූද, ස්වාධීනත්වය හා සත්‍යගරුක භාවය සම්බන්ද ආචාරධර්මයන්ගෙන් අතලොස්සක් හෝ රැකගැනීම හේතුවෙන් සමාජ ගෞරවය යම්තාක් දුරකට හිමිකරගත්තාවූද මාධ්‍යයන් ද මේ කරුණ සම්බන්දයෙන් නිර්වචන ඉදිරිපත් කිරීමට තෝරාගෙන තිබුණේ ‘ලංකාවට එරෙහි’ යන සාවද්‍ය ආස්ථානයමය. අදටත් එම ස්ථාවරයේ වෙනසක් නොපෙනේ. කෙතරම් අමිහිරි වුවද, කඨෝර වුවද සත්‍ය තත්වය වාර්තා කළ යුතුය යන මාධ්‍ය ආචාරධර්මය පසෙක දමා තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයන් තුල හිඳිමින් මාධ්‍ය හැසිරවීම නිසා යටත් පිරිසෙයින් විචාරශීලී වීමට අපේක්ෂා කරන ශ‍්‍රී ලාංකික පුරවැසියාට සිදුවනුයේ බලවත් අසාධාරණයක්මය.

ඇමෙරිකානු යෝජනාව තුල ඇත්තේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට කාල රාමුවක් සැකසීම අවශ්‍ය බවකි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වේවා, හියුමන් රයිට්ස් වොච් වේවා, යටත් පිරිසෙයින් බෑන් කී මූන් විසින්ම පත්කළ දරුස්මාන් කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාව හෝ ක‍්‍රියාවට නැගිය යුතු බවක් එහි සඳහන් නොවේ. එබැවින් අපට මේ කියන්නේ කල්නෑර අපේ ඇස්වටය වටා වැටී ඇති අපේම ඉරුණු සරම් කොටය දවටාගන්නා ලෙස මිසක් ඔවුන්ගේ ‘අධිරාජ්‍යවාදී’ කලිසම ඇඳගැනීමට නොවේ.

තවද උගත් පාඩම් කොමිසම අනුගමනය කළ ක‍්‍රියාපිළිවෙල සම්බන්දයෙන් රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් හා දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල වන්නාවූ චෝදනා බොහෝය. එහි ක‍්‍රියාපිළිවෙලෙහි දෝෂයන් සාධක සහිතව දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සවිස්තරාත්මක වාර්තාවක්ද එළිදක්වා තිබුණි. එබැවින් කොටි හිතවාදීන් යැයි මෙතෙක් නිර්වචනය කැරුණු පුද්ගලයන්ගෙන් උගත් පාඩම් නිර්දේශයන් වෙත එල්ල වූයේ “ගල් මුල්” මිස “මල්” නම් නොවේ. එවැනි තත්වයක් යටතේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රාශියක් උගත් පාඩම් නිර්දේෂයන් සම්බන්දයෙන් ප‍්‍රසාදය පළකර තිබීම ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වමින් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයන් තුල උගත් පාඩම් වාර්තාව උඩ දමමින් පරකාසේ ගැසුවේද මේ රජයමය. එහෙත් එය ක‍්‍රියාත්මක මට්ටමට ගෙන ඒමට බලපෑම් එල්ල වන විට රජය ඊට
එරෙහි වන්නේ මීට පෙර පැවති ජනාධිපත් කොමිෂන් වාර්තා වලට අත්කළ ඉරණම මෙයට අත්කිරීමට නොහැකි වීම නිසාද?

මෙයට විරෝධය දැක්වීමට පෙර විරෝධය දැක්වීම සඳහා භාවිතා කරන්නට බලාපොරොත්තු වන ජනබලයට තමන් විරුද්ධ වන්නේ කුමකටදැයි යන්න පිළිබඳ වචනයකින් හෝ නිවැරදි මඟ පෙන්වීමක් ලබා නොදීමටද පාලකයෝ වගබලා ගත්හ. නිරතුරුවම ප‍්‍රකාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ප‍්‍රධාන පාලක පක්ෂය නියෝජනය කරන දැවැන්තයින් ගණනාවක් විදුලි පුටුවට දැක්කීම සඳහා ඇමෙරිකාවේ සහභාගිත්වයෙන් දෙමළ ඩයස්පෝරාව විසින් ක‍්‍රියාත්මක කැරෙන උගුලකින් ශ‍්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා පෙළ ගැසෙන ලෙසය. මෙහිදී සියළුම මාධ්‍ය ආයතන යම් තරමකින් හෝ මෙම සාවද්‍ය මතය සමාජගත කිරීමෙහිලා දායක වූ බව නම් කිව යුත්තේමය. කෙසේ වුවද මේ පිළිබඳව සත්‍ය තත්වය දන්නා සහ එය සමාජගත කිරීමට තරම් නිර්භය වූ පිරිස දේශද්‍රෝහීන් වශයෙන් මුල සිටම හංවඩු ගසනු ලැබීම නිසා දේශපාලන කරළියේ සිටින විවේචකයන් (ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය) සැබෑ තත්වය ජනතාවට අවබෝධ කරවීමට තමන්ට ඇති වගකීමෙන් කරඇරියහ. ජනතා විමුක්ති පෙරමුණද තම දේශපාලන අතීතය තුලදී කරපින්නාගත් ඇමෙරිකානු විරෝධය හේතුවෙන් මේ අවස්ථාවේදී නිවැරැද්ද කුමක්දැයි තම පාක්ෂිකයින් දැනුවත් කිරීමට මැළි බවක් දක්වනු පෙනිණි.

මේ සම්බන්දයෙන් ඉතාම පක්ෂග‍්‍රාහී සදොස් ස්ථාවරයක් ගත් පුවත්පත් අතර “දිවයින” කැපී පෙනුනි. පෞද්ගලික මාධ්‍යයක් වශයෙන් යම්කිසි ස්වාධීනත්වයක් ආරක්ෂා කරගත හැකියැයි කියනු ලැබුවද ස්වේච්ඡාවෙන් ස්වාධීනත්වය කරේ දමාගෙන කඬේ යන්නන්ද සිටින බවට දිවයින හොඳම උදාහරණය බව පසුගිය මාස කිහිපය පුරා තම මාධ්‍ය භාවිතාව හසුරුවන ලද පිළිවෙල මගින් ඔවුන් ප‍්‍රදර්ශනය කළහ. ස්වාධීන රූපවාහිනිියේ හා ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයන්හි යටත් පිරිසෙයින් විදෙස් පුවත් හෝ මෙම සාවද්‍ය රැල්ලෙන් ගැලවීමට අසමත් වීය. ඇමෙරිකාව විසින් උගත් පාඩම් යෝජනා ක‍්‍රියාත්මක කරන්නැයි බල කරන විට එය ශ‍්‍රී ලංකාවට එරෙහිව යුධ ප‍්‍රකාශ කිරීමක් ලෙස අර්ථ දැක්වූ මේ නල්ලමලේ මාධ්‍යකරුවෝ ඇමෙරිකාව තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය හා මානව හිමිකම් සම්බන්දයෙන් අනාගනු ලබන ස්ථාන ඩැහැගැනීමට නිරන්තරයෙන් මාන බලති. අවාසනාවට ඔවුන්ට හසුවී ඇත්තේ බැංකුවක් කඩා පළා යන සැකකරුවෙකුට සිදුකළ වෙඩි තැබීමක්, නිරුවත් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගැසීමක් වැනි සිල්ලර සිදුවීම් පමණි. ලංකාවේදී කඳුළු ගෑස් කන්නට නිරුවතින් යාම අනවශ්‍ය බව අපි අත්දැකීමෙන් දනිමු. නමුත් ඇමෙරිකාවේ නිරුවත් විරෝධතා කරුවන්ට කඳුළුගෑස් ගැසීම කර උඩ තබාගෙන විරෝධය පළ කරන්නේ එහෙව් අපි වීම දෛවයේ සරදමක්දැයි විටෙක සිතේ.

තවත් කණගාටුවට කරුණක් වන්නේ මේ සම්බන්දයෙන් කුහක ස්ථාවරයක් ගන්නා දැනුවත් පුද්ගලයින් පිළිබඳ තත්වයයි. එවැන්නන් ජිනීවා හුටපටය සම්බන්දයෙන් කතාබහ ඇරඹීමේදී මුලින්ම කියන්නේ මෙය පක්ෂ දේශපාලනය සම්බන්ද ප‍්‍රශ්නයක් නොවන බවත් මුළු රටටම අදාළ ප‍්‍රශ්නයක් වන බවත්ය. කෙසේ වෙතත් මෙය අලි බක්ක ප‍්‍රශ්නයක් කොටගෙන හත් පොළේ ගාගත්තේ මහින්ද රාජපක්ෂ රජයම බවත් මෙයින් යම් අගතියක් වන්නේ නම් එයට මුහුණ දීමට සිදුවන්නේද ඔවුන්ටම බවත් දන්නෝ දනිති. නමුත් ඉහතකී දේශපාලන කුහකයින් නිරන්තරයෙන් මෙය ඊනියා ජාතික අර්බුදයක් බවට පත්කොට සන්ධාන රජය මෙහි ආනුභාවයෙන් තවත් බොහෝකල් යෙහෙන් වැජබෙන තත්වයක් නිර්මාණය කිරීමට යත්න දරති. මන්ද මේ රජයේ නොපැවැත්ම යනු ඔවුන්ගේ බහින කළාව ඇරඹීම බව ඔවුන් හොඳින් දන්නා බැවිනි. එක්කෝ තම පවුලේ කෙනෙකුට දේශපාලන පත්වීමක් ලබාගෙනය, නැතිනම් තමා සරම කරේ තබාගෙන සන්ධාන රජයට කඬේ ගිය බැවින් ආණ්ඩු පෙරළියක් ඇති වුවහොත් තමාට හොම්බෙන් යන්නටම කෙළ වෙන බව විශ්වාස කිරීමය. මේ නිසා බොහෝවිට කඩපිල්වලදී, පන්සල් වලදී මෙවන් බල පණ්ඩිතයන් තම අඳබාලයන් හට ජිනීවා පිළිබඳ වැදිබණ දෙසනු කොතෙකුත් දක්නට ලැබේ.

කෙසේ වෙතත් අවසාන වශයෙන් කිවයුත්තේ යටත් පිරිසෙයින් උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් හෝ ගෙන ඒමෙන් අමෙරිකාව සන්ධාන රජයට කැර තිබෙන්නේ කියලාවත් කරවාගත නොහැකි අති විශාල උදව්වක් බවයි. තෙල් මිළ වැඩිවීම, විශ‍්‍රාම වැටුප් පනත, පාලනය කළ නොහැකි වැඩවර්ජන රැල්ල යනාදිය නිසා නිකට ළඟටම එරී සිටි ආණ්ඩුව ජිනීවා ගුණ්ඩුව හරහා රටේ ප‍්‍රශ්න කතා කරන්නන් දේශද්‍රෝහීන් බවට පත්කිරීම නිසා නැවතත් ඔවුන්ට දෙයියනේ කියා නරක හීන නොපෙනී නින්ද යන කලක් උදාවී ඇත. නමුත් සකළ ශ‍්‍රී ලංකාවාසීන්ම වටහාගත යුතු වන්නේ කුමන පක්ෂයක් බලයේ සිටියද ඔවුන් සැහැල්ලූවෙන් සිටිනවානම් සිටින්නේ ඔබ පිටේ අධි බරක් පැටවීමෙන් පසුව බවයි. බොහෝවිට ඔබ කරගහගෙන යන්නේ අනුන්ගේ බරක් බව ඔබ නොදන්නවා විය හැකිය.

 
1 Comment

Posted by on March 19, 2012 in Uncategorized

 

රාවයේ පටිසෝතගාමයේ මළගම


පුරා දශක දෙක හමාරක් තිස්සේ ශ‍්‍රී ලාංකීය මාධ්‍ය පරිචය තුල ‘රාවය’ සනිටුහන් කර ඇත්තේ නොමැකෙන, අනුපමේය සලකුණක් බවට කිසිදු විවාදයක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පටිසෝතගාමය හෙවත් උඩුගම් බලා පිහිනීම තම මාධ්‍ය භාවිතාව කොටගෙන ලක්දෙරණේ දේශපාලන සන්දර්භය තුල ‘රාවය’ තීරණාත්මක භූමිකාවක් ඉටු කර ඇත. 1994 පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්කිරීමෙහි පටන් මේ වන තෙක්ම දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයන්හිදී රාවයේ මතය කුමක්ද යන්න පිළිබදව සබුද්ධික දේශපාලනයේ නිරත වන්නන් නිරන්තරයෙන් විමසා බැලීම සිරිතකි. රායට කර්තෘ වික්ටර් අයිවන්ගේ භූමිකාව විවිධ අවස්ථා වලදී විවිධ වෙස් ගනු ලැබුවද, ඔහු ප‍්‍රසිද්ධියේ ඇනගන්නා විට ඔහුගේ පාඨක ප‍්‍රජාවද ඇනගත්තද මේ දක්වා රාවයේ මාධ්‍ය භාවිතාව තුලින් ජනසමාජයේ ඇතිවූ බුද්ධිමය පෙරළිය එ් නිසා ලඝු වන්නේද නැත.
මට මතක ඇති කාලයේ වික්ටර් අයිවන් මුලින්ම ඇනගත්තේ 1994 වසරේදීය. දාහත් වසරක භීෂණකාරී එ.ජා.ප පාලන සමය අවසාන කිරීමෙහිලා ශ‍්‍රී ලාංකීය අතිමහත් බහුතරයකට මෙන්ම වික්ටර් අයිවන්ටද පෙනුණ හොදම විසදුම වූයේ චන්ද්‍රිකාය. එය ඔහු අවංක චේතනාවෙන් කලාද නැද්ද යන්න තවමත් අභිරහසකි. කෙසේ වුවද චන්ද්‍රිකා බලයට පත්වන තුරුද ඉන්පසු සැලකිය යුතු කාලයක්ද ඇයව නොසෑහෙන්නට කරේ තබාගෙන යාමට වික්ටර් පසුබට නොවීය. යම් පුද්ගලයෙකු දේශපාලන මතවාදයක් දැරීම හෝ එය කරේ තබාගෙන යාම බැරිනම් එය හා සයනය කලද කාටවත් ප‍්‍රශ්නයක් නැත. නමුත් වික්ටර් අයිවන් යනු එසේ ලඝු කොට සැළකිය හැකි පුද්ගලයෙක් නොවේ. ඔහු යම් මතවාදයක් කර තබාගෙන දේවාල ගානේ යනවිට ඒහා සමග පසුපසින් ගමන් ගන්නා සැළකිය යුතු පාඨක පිරිසක්ද ඇත. මාධ්‍යකරුවකු, විශේෂයෙන්ම වික්ටර් වැනි එක් අතකින් සම්මානනීය මාධ්‍යකරුවකු කඬේ ඕපාදුප කියන බණ්ඩයියාගෙන් වෙනස් වන්නේ එබැවිනි. ඉදින් එවන් පුද්ගලයෙකුට පැවරෙන්නාවූ සමාජ වගකීම ඔවුන් අවබෝධ කර නොගතහොත් එයින් සිදුවිය හැකි සමාජ හානිය අපමණය.
චන්ද්‍රිකා කර තබාගෙන ගිය වික්ටර් හිටි හැටියේ චන්ද්‍රිකා බිමටම අතෑරියේ ඔහු පසු පස්සේ වැදගෙන ගිය පාඨක පිරිසද සළිත කරමිනි. ඉන්පසු ඔහුගේ මාධ්‍ය භාවිතාව පුදුමාකාර ලෙස චන්ද්‍රිකා විරෝධී එකක් වූ අතර චෞර රැුජිනත් සමග වික්ටර්ගේ චන්ද්‍රිකා විරෝධය කූටප‍්‍රාප්ත විය. ඉන්පසු ඔහු කරතබාගත්තේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂයි. කෙසේ වෙතත් වික්ටර් මහින්දව කර තබාගත්තේ චන්ද්‍රිකා ශෛලියට නොවේ. ඔහු මදක් මහින්ද විවේචනයෙහිද යෙදී තීරණාත්මක අවස්ථාවන්හිදී මහින්ද රාජපක්ෂට සහයෝගය දිය යුතු බව කීවේය. කෙසේ වුවද රාවයේ අනෙකුත් ලේඛකයන්ගේ පෑන නිරන්තරයෙන් අයුක්තිය අසාධාරණයට එරෙහිව හඩ නැගූ බැවින් රාවයේ විසම්මුතිය ආරක්ෂා විය.
ජනපති අපේක්ෂක සරත් ෆොන්සේකා සිර භාරයට ගැනීමත් සමග ඇතිවූ මහා දේශපාලන ආන්දෝලනයේදී වික්ටර්ගේ භූමිකාව උත්ප‍්‍රාසජනක වේ. රටේ මෙතරම් දේශපාලනික වියවුලක් පවත්නා අවස්ථාවක වික්ටර්ට රටේ ප‍්‍රශ්න ලෙස පෙනුණේ ප‍්‍රධාන ප‍්‍රශ්නයෙන් පැන නගින්නාවූ ආනුශංගික කාරණා පමණි. රාවයේ පිටු ගණන් නාස්ති කරමින් ඔහු ගෘහ සේවිකාවන් ගැන, වන අලි ගැන අනේක ප‍්‍රලාප දොඩන්නට විය. සනත් බාලසූරිය වික්ටර්ගේ මාධ්‍ය භාවිතාව ප‍්‍රශ්න කල විට ඔහු සනත් සමග අතිශය අසාධාරණ තරගයකට එළඹියේය. මෙහිදී සනත් වික්ටර් විවේචනය කරමින් පල කරන ලිපිය සමගම ඊට පිළිතුරක්ද පලකරන වික්ටර් සනත් ගැන නොකියා කිව්වේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නට බැරි ගොන්කම නිසා ලංකාවේ ඉන්නට බැරිවූ මෝඩයෙකු වශයෙනි.
කෙසේ වුවද සමස්ථ රාවයම පටිසෝතගාමයේ දිශානගත වන විට වික්ටර් පමණක් මහින්දට කඬේ යාම පිළිබදව ඇතමුන් විවිධ මත පලකරන ලදී. කෙනෙක් කීවේ වික්ටර් එසේ කරන්නේ විසම්මුතික මතවාදයන් ජනතාව අතරට යැවීම සදහා ‘රාවයක්’ ඉතිරි කර ගැනීම සදහා ජනරංජනලා, කුසල් පෙරේරලා, විමලනාත්ලා, නුවන්ලා මහින්ද රෙජීමයට බැණ අඩගසද්දී ඔහු මහින්ද ශේප් එකේ තියාගන්නට එසේ කරන බවය. මෙම මතයෙහි යම් තර්කානුකූල බවක් තිබුණද වික්ටර්ගේ භූමිකාව තුල වික්ටර් නම් මාධ්‍යවේදියාගෙන් ලැබිය යුතු සැබෑ දායකත්වය මෙහිදී ඔහු හිතුවක්කාර ලෙස මගහැර ඇති බව කිවයුතුය.
මේ දෙගිඩි දෙවාරු මාධ්‍ය භාවිතාව රාවය ලේඛකයන්ගේද, පාඨකයන්ගේද සිත් වේදනාවට පත්කරන වැදගත්ම සිදුවීම අද එනම් 2012 පෙබරවාරි 28 වැනිදා සිදුවිය. රාවයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුනු උත්සවයට ප‍්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂටය. මෙහිදී එයට හේතුව පැහැදිළි කරමින් වික්ටර් අයිවන් කිව්වේ තවත් සිනහ උපදවන කතාවකි. ‘රාවය’ පෙර අත්දැකීම් අනුව දැන් ආණ්ඩු පෙරලන මාධ්‍ය භාවිතයෙන් ඉවත් වී ඇත්තේලූ. එබැවින් සාධාරණ ජන සමාජයක් උදෙසා වික්ටර් අයිවන් දකින සිහිනය වන්නේ සකළ දේශපාලනික එකගතාවයක් මගින් ඇතිවන පුර්ණ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්ලූ. එබැවින් එයට මූලික පියවර වශයෙන් එකම වේදිකාවක පක්ෂ විපක්ෂ මත ඝට්ටනය කිරීමට මෙය අවස්ථාවක් කරගන්නේලූ. මෙම ප‍්‍රකාශය එක් අතකින් සාධාරණ බව යමෙකුට සිතිය හැකි වුවත් රාවය සමග අත්වැල් බැදගත් බොහෝ දෙනාට මතුවූ ප‍්‍රශ්නය නම් රාවය දේශපාලන සහයෝගීතාවයට පහසුකම් සළසන්නාගේ භූමිකාවට අවතීර්ණ වන්නේ නම් රාවයේ පටිසෝතගාමය මකබෑවී නොයන්නේද යන්නයි. මේ සම්බන්දයෙන් අප‍්‍රසාදයට පත් රාවයේ දිගුකාලීන ගමන් සගයන් වූ කුසල් පෙරේරා, චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු තීරණාත්මක චරිත කිහිපයක්ම මෙම සංවත්සරික සභාවෙන් පිටවී ගිය බව සදහන් කරන්නේ අතිශය කණගාටුවෙනි. වික්ටර් කියන ආකාරයට රාවය එක්කෝ මහින්ද රනිල් හා අනෙකුත් දේශපාලකයන් එකතුකරගෙන පහසුකම් සළසන්නාගේ භූමිකාවට පස්සා දොරින් නොව කෙලින්ම අවතීර්ණ විය යුතුය. නමුත් එවිට රාවය සමග සිටි දිගුකාලීන ගමන් සගයන් බොහොමයක් රාවය හැර යනු නොඅනුමානය. එසේත් නැතහොත් රාවය මෙතෙක් පැමිණි ගමන්මග අනුව රාවයේ භූමිකාව හරිහැටි අවබෝද කරගෙන ඉදිරියටත් පටිසෝතගාමී මාධ්‍යකරුවාගේ භූමිකාව ඉටු කළ යුතුය.
දෙකෙන් එකක් මිස එකගෙයි කෑ නොහැක.

 
Leave a comment

Posted by on February 29, 2012 in Uncategorized